ඇවන්ට්ගාඩ් ගැන අනුර කුමාර විස්තර ඉල්ලද්දී, දිල්රුක්ෂි මුණිවත රකී

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි වික්‍රමසිංහ ඩයස් යන මහත්ම මහත්මීන් දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.

අනුරකුමාර දිසානායක මහතා කොමිසම හමුවේ කියා සිටියේ තමා පසුගිය 24 වනදා ද කොමිසම හමුවේ පෙනී සිටි බවයි. එහිදී තමාට එරෙහි පැමිණිලිවල පිටපත් මෙන්ම සාක්ෂිවල පිටපත් හා පැමිණිලි පාදක කර ගන්නා ලේඛණවල පිටපත් කොමිසමෙන් ඉල්ලා සිටි බවයි. ඒවා ලබාදීමට කොමිසමේ අනුමැතිය හිමිවුවද මෙතෙක් කිසිදු ලේඛණයක් තමාට ලැබී නොමැති බව අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

ඇවන්ට්ගාඩ් නඩුවට සම්බන්ධ ලිපි ගොනු කිහිපයක් පරිශීලනය කිරීමට අවශ්‍ය බැවින් නීතිපති දෙපාර්තමේන්තුව සතු එම ලිපිගොනු තමාවෙත ලබා දෙන ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉල්ලීමක් කළා. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් එහිදී මෙම ඉල්ලීම ඉටු කිරීමට එකගතාව පළකලා. කොමිසමේ කාර්යබහුලත්වය නිසා අදාළ ලිපි අනුරකුමාර දිසානායක මහතාට ලබාදීමට නොහැකි වූ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඉන් අනතුරුව කොමිසම හමුවේ පෙනී සිටියේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි වික්‍රමසිංහ ඩයස් මහත්මියයි.  ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ගොනුකළ නඩුවක් සම්බන්ධයෙන් දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඇතුළු 17 දෙනෙකුට සාක්ෂි ලබාදීම සදහා පසුගිය 23 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

එදිනට පැමිණීමට නොහැකි වූ බව පැවසූ  දිල්රුක්ෂි ඩයස් මහත්මිය වෙනුවෙන් පෙනී සිටි  නීතීඥවරයා  කොමිසමෙන් විමසා සිටියේ රාජකාරී මට්ටමෙන් දිල්රුක්ෂි වික්‍රමසිංහ වැනි නිලධාරීන් කොමිසම හමුවට කැදවීමට කොමිසමට නීතිමය වශයෙන් බලතල ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් දේශපාලන පළිගැනීම් පිළිබද සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා කියා සිටියේ කොමිසමේ බලතල අනුව දිල්රුක්ෂි වික්‍රමසිංහ ඩයස් මහත්මිය ඊට කැදවූ බවයි.

කොමිසමේ විභාග කිරීමට බලාපොරොත්තු වන පැමිණිලි පිළිබදව මනා නීතිමය අවබෝධයක් කොමිසමට ඇති බව සභාපතිවරයා මෙහිදී  අවධාරණය කළා. කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණ කොමිසමේ බලතල පිළිබද කතා කිරීම කාලය විනාශ කිරීමක් බව පැවසූ සභාපතිවරයා සාක්ෂි පමණක් ලබා දෙන ලෙස කොමිසමේ නීතීඥවරුන්ට තරයේ අවවාද කළා.

සාක්ෂි වශයෙන් ඇති කරුණු, දේශන වශයෙන් ඉදිරිපත් නොකරන ලෙසත් කිසිවෙකුගේ තරාතිරම කොමිසමට අදාළ කරුණක් නොවන බවත් සභාපති උපාලි අබේරත්න මහතා තවදුරටත් කියා සිටියා.  දිල්රුක්ෂි ඩයස් මහත්මිය කොමිසම හමුවේ පෙනී සිටියද ඇය කිසිදු ප්‍රකාශයක් ලබා දුන්නේ නැහැ.

 

 

The post ඇවන්ට්ගාඩ් ගැන අනුර කුමාර විස්තර ඉල්ලද්දී, දිල්රුක්ෂි මුණිවත රකී appeared first on ITN News.