පාකිස්ථාන ශිෂ්‍යත්ව වලට ඉල්ලුම් කර සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න – අගමැති

උසස් අධ්‍යාපනය සදහා පාකිස්ථානයෙන් මෙරටට සිසුන්ට ලැබෙන ශිෂ්‍යත්ව වලට ඉල්ලුම් කර සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට සිසු දරු දැරියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහමද් සාද් කාතත් මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා  මේ බව කියා සිටියේ.

පාකිස්ථාන ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන සහයෝගිතා වැඩසටහන යටතේ වසරකට මෙරට සිසු දරුදැරියන් 200 බැගින් වසර 05 ක් සදහා දහසක පිරිසකට පාකිස්ථානයේ නොමිලේ උසස් අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්ව හිමිවනවා.එම අවස්ථාව ප්‍රයෝජනයට  ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙරට දරු දැරියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

කොළඹ නගරයේ වීදි පුස්තකාල ඇතිකිරීම සම්බන්ධ යෝජනාවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරුණා. පහසුකම් අඩු පළාත්වල ජංගම පුස්තකාල ඇති කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නා.

තොරතුරු හා අත්දැකීම් හුවමාරු කර ගැනීම  හරහා ත්‍රස්තවාදය පිටු දැකීමට දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිලිබදවද මෙහිදී  අදහස් ප්‍රකාශ කෙරුණා.

 

 

 

The post පාකිස්ථාන ශිෂ්‍යත්ව වලට ඉල්ලුම් කර සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න – අගමැති appeared first on ITN News.