මිනියැපොලිස්, අපේ පොලිස් හා මානව හිමිකම්

සමිත විජේවර්ධන

ඇමරිකාවේ මිනියැපොලිස් නගරයේ සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ් ක්‍රෑර වධ හිංසනවලින් මරා දැමුණු හැටි මේ වන විට ලොව පුරා කුඩා දරුවන් පවා දන්නවා ඇතැයි සිතමි. ඒ ම්ලේච්ඡ ඝාතනයට එරෙහිව ලොව දස දෙසින් නැග ආ විරෝධයේ දෝංකාරය සදා කල් නොමැකී පවතිනු ඇත. අඩු තරමින් මාර්ටින් ලූතර් කිංගේ සිහිනය සැබෑ වන තුරුවත්!

ෆ්ලොයිඞ්ගේ ඝාතනයට එරෙහිව වීදි බැස්සේ ඇමරිකානු කළු ජාතිකයන් පමණක් නොවේ. විරෝධතාවට එක්වූ සුදු ජාතිකයෝ ඊටත් වැඩි තරම්ය. විරෝධතා අසනිපාතයෙන් ධවල මන්දිරය දෙදරුම් කෑවේය; එපමණක් නොව අනන්ත අචින්ත්‍ය තේජෝ බලසම්පන්න යැයි කියන ඩොනල්ඞ් ට්‍රම්ප්ට ආරක්ෂාව පතා භූගත බංකරයකට රිංගීමට සිදුවිය. මේ විරෝධතා මැද්දේ කැපී පෙනෙන සිද්ධිය නම්, “කීමට වැදගත් දෙයක් නැත්නම් කට වහගනු” කියා කයිවාරුකාර ඩොනල්ඞ් ට්‍රම්ප්ට කීමට තරම් හූස්ටන් පොලිස් ප්‍රධානියාට නිදහස තිබීමය. හෘදය සාක්ෂිය අවදි වූ සුදු ජාතික පොලිස් නිල දරුවෝ විරෝධතා පෙළපාළිකරුවන් ඉදිරියේ අඩ දණින් සිට ඔවුන්ට ආචාර කළහ. ඒ ඇමරිකාවේය.

ලංකාවේ පොලිසිය ගැන වැඩිමනත් අහන්ට ලැබෙන්නේ අප්‍රසන්න චෝදනාය. විටින් විට සිදු කෙරෙන මනුෂ්‍ය ඝාතනවලට අමතරව කායික මෙන්ම මානසික අඩන්තේට්ටම් බහුලය. අනික් අතට මේවා පොලිසියේ පමණක් වැරදි නොවේ. ආගමික සංස්ථා, දේශපාලනය, රාජ්‍ය සේවය ඇතුළු සමස්ත සමාජයේම කුණුවීමෙන් පොලිසිය පමණක් කෙසේ ගැලවෙන්නද? කෙසේ වෙතත් මේ පල් වළේම සිටිමින් තම චරිතයේත් වෘත්තියේත් ගෞරවය ආරක්ෂා කරගන්නා සදාචාරවත් ‘මිනිස්සු’ නැතුවා නොවෙත්. එබඳු පොලිස් නිලධාරීන් ගැන පෞද්ගලික අත්දැකීම් දෙකක් සදා නොමැකෙන ලෙස මා මනසේ ලැගුම් ගෙන නිති සිහියට නැගෙන්නේ අප්‍රමාණ මානව ගෞරවයකින්ය. මා මේ අත්දැකීම් ලේඛනගත කරන්නේ ගරු කළ යුත්තාට ගරු කිරීමට පමණක් නොව නීතිගරුක, යුක්තිගරුක, විනයගරුක මෙන්ම මානව දයාවෙන් පිරි සමාජයක් ගොඩනැගීමෙහිලා එයින් ස්වල්ප මාත්‍ර වූ හෝ පිටිවහලක් සිදුවේය යන බලාපොරොත්තුවෙනි.

පළමු අත්දැකීම

1983-87 වසරවල මා සේවය කරමින් සිටියේ මැදවච්චිය-පුල්එළිය විදුහලේය. අනුරාධපුර උසාවියේ ජූරි සභිකයෙකු ලෙස අවශ්‍ය වූ විටක කැඳවීමට මා නම් කර යවා තිබුණි. එක් දිනක් ඒ සඳහා මට සිතාසි ලැබුණි. එදින මා අසනීප වූ බැවින් වෛද්‍ය සහතිකයක් ලියාපදිංචි තැපෑලෙන් උසාවියට යවා ගලගෙදර මගේ නිවසට ගියෙමි. පසුදින ‘වහාම විද්‍යාලයට පැමිණෙන ලෙස’ දන්වා විදුලි පණිවුඩයක් ලැබුණත් මා එය ගණන් ගත්තේ නැත. ඉරිදා සවස විදුහලට ගිය මට විදුහල්පතිගෙන් දැනගන්ට ලැබුණේ මා අත්අඩංගුවට ගැනීමට දෙවතාවක්ම පොලිසියෙන් ආ බවත් වහාම පොලිසියට යායුතු බවත්ය. පසුදින උදෑසනම විදුහල්පති දයාරත්න මහතාත් මමත් පොලිසියට යෑමට මගට බැස්සෙමු. ඒ වනවිටත් පොලිස් නිලධාරියා මා සොයා එමින් සිටියේය. මට අතරමගදීම පොලිස් රථයට නැගීමට සිදුවිය. මා ‘දුටු තැන ඇල්ලීමට’ වරෙන්තුද නිකුත් කර තිබෙන බව පොලිස් නිලධාරි මහතාගෙන් දැන ගතිමි. පොලිසියට ගිය විට ස්ථානාධිපති මා කූඩුවට දැමීමට නියෝග කළේය. එහෙත් එසැණින්ම “සර්, කූඩුවට දාන්ට ඕනෑ නෑ. අද උසාවි දවස නිසා උසාවියට යවමු” යන කාරුණික හඬක් ඇසුණි. ඒ එතැන සිටි උප පොලිස් පරීක්ෂක මහතාගේ ඉල්ලීමය. ස්ථානාධිපතිතුමා ඒ යෝජනාවට අනුමැතිය දුන්නේය. පොලිස් නිලධාරි මහතාත් මාත් මගී ප්‍රවාහන වෑන් රථයකින් අනුරාධපුර උසාවියට යන විට උසාවියේ වැඩ අවසන් වී තිබුණි. දිවා ආහාරය සඳහා බැහැර ගොස් සිටි ලේඛකාධිකාරිවරයා එනතුරු මගේ ඉල්ලීම මත පොලිස් නිලධාරියාත් මමත් ළඟ තිබූ පෙට්ටි කඩයකට ගොස් බනිස් කා තේ බීවෙමු. මා තේ බිල ගෙවීමට සූදානම් වෙත්ම “නෑ එපා මං දෙන්නම්” කියා සෙමින් මිමිණූ පොලිස් නිලධාරි මහතා අප දෙදෙනාගේම තේ බිල ගෙවා දැම්මේය.

අප ආපසු උසාවියට යන විට ලේඛකාධිකාරී පැමිණ සිටියේය. පොලිස් නිලධාරි මහතා ලේඛකාධිකාරීට මා ගැන කියනවාත් සමගම ඔහු ඇසුවේ ‘කොහේදිද ඇල්ලුවේ?” කියාය. එවැන්නක් සිදු නොවූ බවත් මා පොලිසියට පැමිණි බවත් රාළහාමි පහදා දුන් පසු ලේඛකාධිකාරී අප දෙදෙනාම විනිශ්චයකාරතුමාගේ නිල කාමරයට කැඳවා ගෙන ගියේය. විනිශ්චයකාරතුමා මගෙන් ඉතා කෙටියෙන් කරුණු විමසා ලේඛකාධිකාරී ඉදිරිපත් කළ මා යවා තිබූ වෛද්‍ය සහතිකයද පරීක්ෂා කර මෙසේ අවවාද කළේය. “මේ වෛද්‍ය සහතිකය වලංගුවන්නේ එක දවසකට. පසුදින උසාවියට පැමිණිය හැකිව තිබුණා. දිගටම අසනීප නම් මීට පස්සේ සම්පූර්ණ කාලයම ආවරණය වන සේ වෛද්‍ය සහතික ඉදිරිපත් කළ යුතුයි. දැන් තමාට යන්ට පුළුවන්.” මම විනිශ්චයකාරතුමාට හිස නමා ආචාර කොට නිල කාමරයෙන් එළියට විත් රාළහාමිටද මුව නොසෑහෙන සේ ස්තුති කළෙමි.
මේ සමස්ත සිද්ධියෙන්ම මතු කර උඩට ගෙන මා හුවා දක්වන්නේ පහත සඳහන් චර්යාවන්ය:

මා පොලිස් භාරයට ගත් නිලධාරි මහතාගේ භාරයේ මා ගත කළ පැය හතක පමණ කාලය තුළ ඔහු මා කෙරෙහි දැක්වූ කාරුණිකභාවය, කූඩුවට නොදමා එදිනම මා උසාවියට ඉදිරිපත් කිරීමට යෝජනා කළ උප පොලිස් පරීක්ෂක මහතාගේ දයාන්විත බව, පොලිස් ස්ථානාධිපතිතුමා තම දරදඬු පළමු නියෝගය ඉවත ලා උප පොලිස් පරීක්ෂක මහතාගේ යෝජනාවට එකඟවීමට තරම් නම්‍යශීලීවීම යනාදිය ශ්‍රේෂ්ඨ මානව ගුණාංගය.

මා කළ වරදද මට කුමන දඬුවමකට මුහුණදීමට සිදුවේද යනාදිය ගැන නිනව්වක් නැතිව මා දවමින් සිටි සිතිවිලි ගිනිදැල් විනිශ්චයකාරතුමාගේ අවවාදාත්මක විනිශ්චය නමැති සිහිල් දිය දහරින් නිවී ගිය බව අමුතුවෙන් කිව යුතු නොවේ.

දෙවන අත්දැකීම

1990 ගණන්වල මාගේ මිත්‍රයෙකු වූ කුමාරදාස සේවය කළේ සංස්කෘතික ත්‍රිකෝණයේ සීගිරි ව්‍යාපෘතියේය. දිනක් කුමාර හමුවීමට මා ඔහුගේ නිල නිවහනට යන විට ඔහු තුනටියේ අමාරුවකින් ඇවිද ගෙනවත් යෑමට බැරි තරමට රෝගාතුර වී සිටියේය. සවස් වන විට ඔහුගේ රෝගය උත්සන්න විය. එකල සීගිරි ව්‍යාපෘතියට රාජකාරි වාහනයක් නොවීය. ඊට විකල්පය වූයේ ළඟ ම තිබූ පොලිසියෙන් වාහනයක් ගෙන්වා ගැනීමය. කුමාරගේ මිතුරෝ පොලිසියෙන් වාහනයක් ඉල්ලා සිටියේය. රෑ වේගෙන එන විට ජීප් රියක් පැමිණියේය. එහි ඉදිරි වම්පස අසුනේ සිටියේ පොලිස් ස්ථානාධිපති යැයි සිතමි. පසුපස දිග් අතට වූ අසුන් දෙකෙන් එකක කුමාරත් මමත් වාඩි වුණෙමු. අනෙක් අසුනේ තරුණ රාළහාමි කෙනෙක් අපට මුහුණලා වාඩිවී සිටියේය. අප දැන් ප්‍රතිකාර ගැනීමට දඹුල්ලට යා යුතුය.

ස්ථානාධිපති හිටියේ නහයෙන් කටෙන් උතුරන තරමට අරක්කු බීලාය. අප ජීප් රියට නැගුණු තැන සිට ඔහුගේ එකම රාජකාරිය වූයේ ලෝකයේ ඇති තාක් අමු තිත්ත කුණුහරුප මතක් කරමින් කැම්පස්කාරයන්ට බනින එකය. (සීගිරි ව්‍යාපෘතියේ සේවය කළෝ විශ්වවිද්‍යාල උපාධිධාරියෝය.) දඹුල්ලට යනතුරුම එක දිගට මේ කන්දොස්කිරියාව නතර වුණේ නැත. කුමාරත්, මමත් නිශ්ශබ්දව ඒ සියල්ල ඉවසා සිටියෙමු. අප ඉදිරිපස සිටි රාළහාමිද බලවත් අප්‍රසන්නතාවකින්ද අපහසුතාවකින්ද සිටි බව ඔහුගේ මුහුණේ ඉරියව් කියා පෑවේය. රෑ හතට පමණ දඹුල්ලට ගිය අපි පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ගෙන ආප්ප කඩයක් සොයා ගොස් ආප්ප කා තේ බීවෙමු. මා තේවල බරපැන ගෙවීමට මුදලාලිට දිගු කළ මුදල වැළකූ තරුණ රාළහාමි “එපා මම ගෙවන්නම්” කියා එය භාර ගත්තේය.

පොලිස් ස්ථානාධිපතිගේ අමනෝඥ හැසිරීමෙන් අපට ඇතිවූ චිත්ත පීඩාව ගැන රාළහාමි සංවේදී වූ බවට සැකයක් නැත. එහෙත් තම ඉහළ නිලධාරියා ඉදිරිපිට ඒ ගැන කනගාටුව ප්‍රකාශ කළා නම් රාළහාමි අර අවිනීත නිලධාරියාගේ උදහසට ලක්වීමට ඉඩ තිබුණි. අඩු තරමින් තේ වියදම්වත් ගෙවා දැමීමෙන් අපට යුක්තිය ඉෂ්ට කිරීමට රාළහාමි සිතුවා විය හැකිය.
පළමු සිද්ධියේ රාළහාමි කළේ කාරුණිව සිය රාජකාරිය ඉටු කිරීමය. මා ඔහුට කළ උපකාරයක් නැත. දෙවන සිද්ධියේ (ස්ථානාධිපති ආවේම අපට බැණ වැදීමටය.) එහෙත් රාළහාමි ආවේ රෝගියෙකුට, අසරණයෙකුට උපකාර කිරීමේ මානව ගුණධර්මය පෙරදැරි කරගෙනය. මෙවැනි නිලධාරීහු බොහෝ වෙති. එහෙත් බහුතරයකගේ හැසිරීම දුර්දාන්තය; අමානුෂිකය; අශීලාචාරය. සේවාලාභීන්ට තේ අරන් දීම කෙසේ වෙතත් කාගෙන් හරි සිගරට් එකක්වත් බීවේ නැත්නම් ඔවුන්ට නින්ද යන්නේ නැත.

පසුගිය දිනවල අවුරුදු අවුරුදු 14 තරමේ ළමයින් දෙදෙනකු සම්බන්ධයෙන් පොලිසියේ හැසිරීම අතිශය අමානුෂිකය; අශීලාචාරය.

අකුරැස්ස, (නවදගල) පොලිසියට ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයකු වෙනුවට 14 හැවිරිදි දරුවා රැගෙන ගොස් ඇත්තේ ඔහු භාරයේ සිටි අවුරුදු දෙකක පමණ දරුවා ගෙදර තනි කර දමාය.

අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිතුමා පවසන ආකාරයට දරුවා බලෙන් රැගෙන ගොස් නැත. ඔහු තම පියා පෙන්නීමට කැමැත්තෙන්ම පැමිණ ඇත. (ලංකාදීප, 2020.06.10)

පොලිසියට අවශ්‍ය කරන පුද්ගලයෙකු පෙන්වීම සඳහා ඔහුගේ බාලවයස්කාර දරුවෙකු කැමැත්තෙන් හෝ කැඳවා ගෙන යෑම මෙන්ම කුඩා දරුවෙකු ගෙදර තනිකර දමා යෑම කෙතරම් මානුෂිකද, ශීලාචාරද නීතිගරුකද කියා පොලිසිය තම නිල ඇඳුමේ බාහුවේ වැඩ ඉන්න ධර්ම චක්‍රයෙන්ම අසා දැනගනිත්වා!

අනෙක් සිදුවීම අලුත්ගම ධර්ගා නගරයෙන් වාර්තා වෙයි. පොලිස් මුරපොළක් පසුකරගෙන පාපැදියක් පැදගෙන ගිය 13 හැවිරිදි මුස්ලිම් දරුවකුට පොලිස් නිලධාරීන් කිහිපදෙනකු වටවී පහරදී ඇත. ඒ දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකි. සහරාන් ත්‍රස්තවාදය ගැන මේ වන විට දෙවන ජනාධිපති කොමිසමද සාක්ෂි විමසයි. දරුවන් මරුවන් කෙරෙන පොලිස් ත්‍රස්තවාදය ගැන කෙරෙන පරීක්ෂණ මොනවාද?

ඇමරිකානු පොලිසියේ ම්ලේච්ඡත්වය එරෙහි වූ පෙරටුගාමීන්ට පහර දී තරුණියකගේ දෑතින් හා දෙපයින් උස්ස ලොරියක් තුළට වීසි කිරීමෙන් ශ්‍රී ලංකා ධර්ම චක්‍ර පොලිසිය අධිරාජ්‍යවාදී පොලිසිය සමග කරට කර සිටී.

“අපට මානව හිමිකම් ගැන උගන්නන්ට එන්ට එපා. අපි තමයි ලෝකෙට මුලින්ම මානව හිමිකම් ගැන කියලා දුන්නේ” යැයි යුරෝපයට එරෙහිව ශ්‍රී ලංකා දේශ හිතෛෂීන් කෙළින කයිවාරු විටින් විට අපට අසන්නට ලැබේ. ඉහත කී පොලිස් ක්‍රියාකලාපයන් ගැන මේ දේශප්‍රේමියෝ කුමක් කියද්ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට බැණ වදිමින් අපේ මානව හිමිකම් පුස්කොළ පොත කළු මදිමින් වංචනික පුරසාරම් දෙඩුවාට මානව හිමිකම් ආරක්ෂා වන්නේ නැත; ආත්මාර්ථකාමිත්වයෙන් හා ක්‍රෑරත්වයෙන් වියරු වැටුණු සමාජය උඩුයටිකුරු කර පෙළා දැමිය යුතුය.