වතු සේවක වැටුප රුපියල් දහසක් කිරීමේ අවසන් තීරණය ඉදිරි සති කිහිපයේ

වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ධනාත්මකව සිතා ඉදිරි සති කිහිපය තුළ යෝජනා ඉදිරිපත් කරන්නැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වතු සමාගම් හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කළා.

ඒ ලංකා කම්කරු කොංග‍්‍රසය කළ ඉල්ලීමකට අනුව සමාගම් හිමිකරුවන් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්. වතු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ තිබීම ඉදිරි අයවැය යෝජනාවලිය සැකසීමේදී පහසුවක් වන බවයි අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.

වතු සේවකයෙකුගේ මූලික වැටුප වන රුපියල් 750 ට අමතරව මිල කොටස් අතිරේක දීමනාව, නිෂ්පාදන දීමනාව සහ පැමිණීමේ දීමනාව ඇතුලු දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන ලෙසයි ලංකා කම්කරු කොංග‍්‍රසය ඉල්ලා සිටියේ.

ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුලත යෝජනා ඉදිරිපත් කරන ලෙස අග‍්‍රාමාත්‍යවරයා වතු සමාගම් හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කළා. කොවිඩ් නයිටීන් වසංගත තත්වය හේතුවෙන් මතුවූ ගෝලීය ආර්ථික අර්බුදය නිසා සමාගම් හිමිකරුවන් මුහුණදී ඇති ගැටලු පිළිබදව ද අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුවුණා.

The post වතු සේවක වැටුප රුපියල් දහසක් කිරීමේ අවසන් තීරණය ඉදිරි සති කිහිපයේ appeared first on ITN News.