මත්ද්‍රව්‍ය වැටලීමක් මුවාවෙන් නිවසකට ඇතුළු වී රුපියල් ලක්ෂ 24ක් වටිනා රන් මාලයක් ඇතුළු දේපළ කොල්ලකෑ බවට බදුල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමකට චෝදනා එල්ල වී ඇත. අගතියට පත් ව්‍යාපාරිකයා පොලිස්පති සහන මැදිරිය වෙත කළ පැමිණිල්ලකට අනුව බදුල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.
පැමිණිල්ලට අනුව, අදාළ නිලධාරීන් විසින් රන් මාලයට අමතරව රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් සහ විස්කි බෝතල් හතරක් ද නිවසින් රැගෙන ගොස් ඇතැයි සඳහන් වේ. සිද්ධිය වූ දින සිවිල් ඇඳුමින් පැමිණි පුද්ගලයන් හය දෙනෙකු නිවස පරීක්ෂා කර ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය හමු වූ බව පවසමින් ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගෙන තිබේ.
සැලසුම් සහගත වැටලීමක් බවට සැක
මෙම වැටලීම සැලසුම් සහගතව කළ එකක් බවට ව්‍යාපාරිකයා සැක පළ කරයි. පොලිස් නිලධාරින් පැමිණීමට සුළු මොහොතකට පෙර නාඳුනන අයෙකු පැමිණ තමන් හා කතාබහ කර ගිය බව ඔහු පවසයි. වැටලීමෙන් පසු නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතිය ද පරීක්ෂා කරන මුවාවෙන් නිලධාරීන් ගලවාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පැලඳ සිටි පවුම් හතරක් බරැති රන් මාලය නිවසේ තබා එන ලෙස පොලිසිය දැනුම් දී තිබේ. ඒ අනුව ඔහු එය අල්මාරියේ තබා ගොස් ඇත.
සොරකම හෙළි වූ හැටි
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ අසත්‍ය චෝදනාවක් මත තමන්ව මාස කිහිපයක් රක්ෂිත බන්ධනාගාරගත කළ බවට ව්‍යාපාරිකයා චෝදනා කරයි. සොරකම හෙළි වී ඇත්තේ ඔහු බන්ධනාගාරයේ සිටියදීය. තමන් බැලීමට පැමිණි සහෝදරියට නිවස පරීක්ෂා කිරීමට පැවසූ පසු, ඇය ගොස් බලද්දී අල්මාරියේ තිබූ රන් මාලය, මුදල් සහ විස්කි බෝතල් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ.
තමා අත්අඩංගුවට ගැනීමෙන් පසු වෙනත් කිසිවෙකුත් නිවසට නොපැමිණි හෙයින් මෙය පොලිස් නිලධාරීන් විසින්ම සිදු කළ සොරකමක් බවට පැමිණිලිකරු සැක පළ කරයි. බදුල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.




