හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති රජයේ මුදල් අවභාවිත කිරීමේ නඩුව ඊයේ (11) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය. එහිදී නීතිපති උපදෙස් ලැබීම තවදුරටත් ප්‍රමාද වීම නිසා නඩුව ලබන දෙසැම්බර් 9 වැනිදා දක්වා කල් තැබීමට වැඩබලන නිලනොලත් මහෙස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා නියෝග කළ බව වාර්තා වේ.
නඩුව විභාගයට ගත් අවස්ථාවේ චූදිතයන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපති ලේකම්වරයා ද විවෘත අධිකරණය හමුවේ පෙනී සිටි බව සඳහන් වේ. වර්තමානයේ නීතිපති ලෙස කටයුතු කරන්නේ රනිල් ජනපති සමයේ එනම් July 12, 2024 දින පත්කළ පාරින්ද රණසිංහ (කනිෂ්ඨ ) මහතාය.
නඩුවට හේතු වූ සිද්ධිය
මෙම නඩුවට පාදක වී ඇත්තේ 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී සිදුවූ බව කියන සිදුවීමකි. හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට එක්සත් රාජධානියේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් පිරිනැමුණු ගෞරව උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් රජයේ මුදල් රුපියල් ලක්ෂ 166කට (මිලියන 16.6කට) අධික මුදලක් වැය කරමින් රජයට පාඩුවක් කළ බවට පොදු දේපළ පනත යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
නීතිපති උපදෙස් ප්‍රමාදය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ අදාළ විමර්ශන ගොනු මේ වන විටත් නීතිපතිවරයාගේ විමසීමට ලක්වෙමින් පවතින බවයි. ඒ අනුව නීතිපති උපදෙස් දැනුම් දීම පිණිස වෙනත් දිනයක් ඇය ඉල්ලා සිටියාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අවසන් කර ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව මුලින්ම ජූලි 8 වැනිදා දැනුම් දුන් අතර එදින නඩුව සැප්තැම්බර් 30 දක්වා කල් තැබිණි. එදිනටද උපදෙස් නොලැබුණු හෙයින් ඊයේ දිනය දක්වා කල් ගිය අතර, නීතිපති උපදෙස් නැතිව නඩුව කල් ගිය තෙවැනි අවස්ථාව මෙය ලෙස සටහන් වේ.
ඊළඟට කුමක්ද?
රජයේ මුදල් අවභාවිතය පිළිබඳ මෙම චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නීතිමය ක්‍රියාවලියේ ඊළඟ පියවර තීරණය කිරීම සඳහා නඩුව ලබන දෙසැම්බර් 9 වැනිදා යළි කැඳවනු ලැබේ.






