බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය මෙතෙක් ලබාගැනීමට නොහැකි වූ පිරිස් මුහුණ දුන් අපහසුතා සැලකිල්ලට ගනිමින් නව පියවරක් ගැනීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව නව බැංකු ගිණුම් ඇරඹීම හා වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී ක්ෂණිකව TIN සහතිකයක් ඉදිරිපත් කිරීමේ නීතිය තාවකාලිකව ලිහිල් කර ඇති බව වාර්තා වේ.
2026 නොවැම්බර් 1 දින සිට ආර්ථික ක්‍රියාකාරකම් කාණ්ඩ අටක් වෙනුවෙන් TIN අනිවාර්ය කිරීමත් සමඟ මහජනතාවට ඇති වූ ගැටලු හේතුවෙන් මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සතිපතා කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.
හැඳුනුම්පතෙන් වැඩේ කරගන්න හැටි
ජාතික හැඳුනුම්පත් විස්තර සහ මූලික තොරතුරු පදනම් කරගෙන අදාළ කටයුතු කරගෙන යාමට ඉඩ දෙන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ආයතන වෙත උපදෙස් ලබාදෙමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අනුව TIN අංකයක් නැතත් ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළු පෞද්ගලික විස්තර ලබාදී බැංකු ගිණුම් විවෘත කළ හැකිය. එසේම වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදීද ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත හැඳුනුම්පත් තොරතුරු ඉදිරිපත් කර එම කටයුත්ත කරගැනීමට අවසර ලැබේ.
TIN අංකයක් තිබූ පමණින් බදු ගෙවන්න වෙන්නේ නෑ
මෙම සහනය නිසා TIN අංකයක් ලබාගැනීමේ අවශ්‍යතාව නැති නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, කලබල නොවී ලියාපදිංචිය සම්පූර්ණ කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙරට වයස අවුරුදු 18ට වැඩි ඇස්තමේන්තුගත මිලියන 17ක ජනතාවගෙන් මිලියන 13කට පමණ මේ වන විටත් TIN අංක නිකුත් කර ඇති අතර, තවත් මිලියන හතරකට ආසන්න පිරිසක් ලියාපදිංචි වීමට ඉතිරිව ඇත.
TIN අංකයක් ලැබුණු පමණින් කෙනෙකු බදු ගෙවීමට යටත් නොවන බවද ඔහු පැහැදිලි කළේය. මිලියන 13කට TIN නිකුත් කර තිබුණද පවත්වාගෙන යන්නේ බදු ලිපිගොනු මිලියන 1.2ක් පමණි. නොවැම්බර් 1 න් පසු TIN ලියාපදිංචි විය නොහැකි බවට පළවන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.






