නකල්ස් කඳු වැටියේ බටහිර බෑවුමට ආසන්න කරඹකැටිය, දම්බඩේ ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් මීට මාස කිහිපයකට පෙර අතුරුදන්ව ඇති බවට ඇයගේ පවුලේ ඥාතීන් උඩුදුම්බර පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි. ඒ අනුව පරීක්ෂණ ඇරඹූ පොලිස් නිලධාරීන්ට ප්‍රදේශයේ සැරිසැරූ තරුණයෙකු පිළිබඳව සැකයක් මතු විය.
එක් අයෙකුට සෑහෙන ප්‍රමාණයට වඩා වැඩිපුර දෛනිකව කඩ සාප්පුවලින් බඩු භාණ්ඩ මිලදී ගන්නා බව නිරීක්ෂණය වූ බැවින් පොලිස් නිලධාරීන් එම තරුණයා පසුපස ලුහුබැඳ ගොස් විමර්ශනය කර ඇත.
ගල් ගුහාව තුළ සිදුවූ දරු ප්‍රසූතිය
ජනාවාසවලින් ඈත්ව පිහිටි රක්ෂිතයක තිබෙන ගල් ගුහාවක මෙම තරුණයා රැඳී සිටින බවත්, එහි බාලවයස්කාර මවක් සහ කුඩා බිළිඳෙකු සිටින බවත් එහිදී හෙළි කර ගැනීමට හැකිව තිබේ. පසුව තහවුරු වී ඇත්තේ එම මව මීට පෙර අතුරුදන් වූ බව කියන 15 හැවිරිදි දැරිය බවයි.
අදාළ දැරිය ගල් ගුහාව තුළදීම දරුවා බිහි කර ඇති අතර, කිතුල් කැපීමට ගන්නා පිහියක් ආධාරයෙන් දරුවාගේ පෙකණිවැල කපා වෙන් කර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය විය. රක්ෂිතයෙන් ලබාගත් අත්බෙහෙත් වර්ග යොදා ගනිමින් මවටත් බිළිඳියටත් ප්‍රතිකාර කර ඇති බවද ඔවුන් පවසා තිබේ.
දෙදෙනෙකු පොලිස් දැලට
පොලිස් භාරයට ගත් මාස දෙකක් වයසැති බිළිඳිය වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ පියා බව කියන 23 හැවිරිදි තරුණයා මෙන්ම ඔහුට උදව් උපකාර කළ 30 හැවිරිදි ඥාති පුද්ගලයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඊළඟට කුමක්ද?
උඩුදුම්බර පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.






