2018 වසරේ දී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී පැවති ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සම්බන්ධ වූ පන්දු පළුදු කිරීමේ සිදුවීම නැවතත් දැඩි කතාබහට ලක්ව තිබෙනවා. හිටපු පිතිකරු උස්මාන් කවාජා සිය 'Sabr' ස්වයං චරිතාපදාන කෘතිය හරහා පවසා ඇත්තේ එම සිද්ධිය එවකට කණ්ඩායමේ සිටි සියලුම ක්‍රීඩකයින් දැනුවත්ව සිදු වූවක් බවයි.
එම සිද්ධියට එවකට නායක ස්ටීව් ස්මිත්, උප නායක ඩේවිඩ් වෝනර් සහ ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් යන තිදෙනාට පමණක් දඬුවම් ලැබුණු අතර, කවාජාගේ හෙළිදරව්වත් සමඟ ඒ ගැන යළි අවධානය යොමුව තිබෙනවා.
ක්‍රීඩකයින් අතර මත ගැටුමක්
උස්මාන් කවාජාගේ අදහස් දැක්වීමට ප්‍රතිචාර දක්වමින් ඩේවිඩ් වෝනර් සඳහන් කර ඇත්තේ කවාජා කියන කරුණු සමඟ තමන් ද එකඟ වන බවයි. කෙසේ වෙතත්, වත්මන් ටෙස්ට් නායක පැට් කමින්ස් එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, එවකට සියලු ක්‍රීඩකයින් ඒ ගැන දැනුවත්ව සිටි බවට එල්ල වන චෝදනාව ඔහු බැහැර කරනවා.
මේ අතර තම පොත අලෙවි කරගැනීම සඳහා කවාජා මෙවැනි ප්‍රකාශයක් කළ බවට ද ඇතැම් පාර්ශ්ව වෙතින් ඔහුට චෝදනා එල්ල වී තිබෙන බව වාර්තා වෙනවා.
නේතන් ලියොන් කළැයි කියන යෝජනාව
මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තවත් මෙවැනිම සැලසුමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කේප් ටවුන් සිද්ධියෙන් මාස කිහිපයකට පසුව පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී, 'මින්ට් පෙති' උපයෝගී කරගෙන පන්දුව පළුදු කිරීමට ප්‍රබල දඟ පන්දු යවන්නා වන නේතන් ලියොන් යෝජනා කළ බව කෝඩ් ස්පෝර්ට්ස් (CODE Sports) වාර්තාවක් උපුටා දක්වමින් සඳහන් වෙනවා.
එම යෝජනාවට පුහුණු කාර්ය මණ්ඩලය යම් එකඟතාවක් පළ කළත් ට්‍රැවිස් හෙඩ් ඇතුළු සෙසු ක්‍රීඩකයින් ඊට විරෝධය පළ කළ බවයි කියැවෙන්නේ. දෙසැම්බර් 09 වැනිදා පර්ත් නුවරදී පැවැත්වෙන නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සංචිතයෙන් ලියොන් ඉවත් කෙරෙන බවට තොරතුරු පළවීමත් සමගම මෙම චෝදනාව කරළියට ඒම විශේෂත්වයක්.






