රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (27) පෙරවරුවේ පැවැත්වෙන බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය. එළඹෙන 30 වනදා පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වැඩවර්ජනයට එක්වන්නේද නැද්ද යන්න ඇතුළු ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තීරණය කිරීමට නියමිත බව සඳහන් වේ.
සාකච්ඡා ලබා නොදීම ගැන චෝදනා
වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු මෙන්ම ආර්ථික අසාධාරණයන් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට තබා සාකච්ඡා කිරීමටවත් ආණ්ඩුව සූදානම් නැති බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය. සාකච්ඡා ලබාගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් පස් වතාවකට වඩා, අග්‍රාමාත්‍යවරියගෙන් දෙවතාවක් සහ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් තුන් වතාවක් ඉල්ලීම් කළද කිසිදු පාර්ශ්වයකින් ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔහු පෙන්වා දුන්නේය.
“මේ රටේ රෝහල් පද්ධතිය ඇතුළේ දැවැන්ත සේවාවක් සිදුකරන මේ රටේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු සහ විශේෂයෙන් ආර්ථික අසාධාරණය සම්බන්ධයෙන් විසඳුම් ලබාදෙනවා තියා අඩුම ගානේ සාකච්ඡා කරන්නවත් සූදානම් නැති ස්ථාවරයක තමයි ආණ්ඩුව ඉන්නේ.”වෛද්‍ය චමිල් විජේසිංහ
වැටුප් වැඩිවීම සහ දීමනා කප්පාදුව
මූලික වැටුප් ඉහළ දමා ඇති පසුබිමක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සාධාරණ නැති බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැනද සහකාර ලේකම්වරයා අදහස් පළ කළේය. මූලික වැටුප් වැඩිවීම සාධනීය වුවත්, 2025 වසරේදී අමතර රාජකාරි දීමනාවෙන් සහ නිවාඩු දින ගෙවීම්වලින් තුනෙන් එකක් කප්පාදු කළ බවත්, එමගින් ගෙවුණු වසර දෙක තුළ රුපියල් කෝටි 4400ක් රටට ඉතිරි කර දී ඇති බවත් ඔහු පැවසීය. එසේම සාකච්ඡා මේසයෙන් ආණ්ඩුව පැන යන බවටද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
ඊළඟට කුමක්ද?
එළඹෙන සතිය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන්නේද, එය 30 වෙනිදාද නැතහොත් වෙනත් දිනයකද සහ එම ක්‍රියාමාර්ග මොනවාද යන්න අද දින මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව රටට ප්‍රකාශ කිරීමට නියමිතය.






