“ශ්‍රී ලංකා ක්‍රිකට්” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව අද (13) දින කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව වෙත නිල වශයෙන් ඉදිරිපත් කරන ලදී.

විශේෂ බහුතරයකින් හෝ එසේ නොමැති නම් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් යෝජනා කර ඇති සංශෝධන සිදු කරමින් සරල බහුතරයකින් මෙම පනත් කෙටුම්පත සම්මත කරගැනීමේ හැකියාව පවතින බව එහි සඳහන් කර තිබේ.

කාරක සභා අවස්ථාවේ සංශෝධන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව මෙම පනත් කෙටුම්පත මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබිණි.

එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ නොවුණ ද, කාරක සභා අවස්ථාවේදී නියමිත සංශෝධන එක් කිරීමෙන් එම බාධාවන් ඉවත් කරගෙන සරල බහුතර ඡන්දයෙන් එය සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දන්වා ඇත.