පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කර ඇත.

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ගෙන් එල්ල වන තර්ජන වැළැක්වීම සහ මැඩපැවැත්වීම වෙනුවෙන් 2014 සැප්තැම්බර් මස 24 වැනි දින සම්මත කෙරුණු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2178 දරන යෝජනාව බලාත්මක කිරීමට මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් පසුගිය ඔක්තෝබර් මස 20 වැනි දින මෙය පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

නීතිය ක්‍රියාත්මක වන ආකාරය

ශ්‍රී ලාංකික පුරවැසියකු හෝ වෙනත් රටක පුරවැසියකු ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටතදී වරදක් සිදුකර ඇති විටෙක, එම ක්‍රියාව අදාළ රටේ නීතිය යටතේද වරදක් වන්නේ නම් ලංකාව තුළ නීතිමය පියවර ගත හැකි බව නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වීම, සැලසුම් කිරීම, සූදානම් වීම හෝ ඊට සහභාගී වීම මෙන්ම පුහුණුව ලබාදීම හෝ ලබාගැනීමද මෙම පනත යටතේ වැරදි ලෙස අර්ථ දක්වා ඇත. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරමින් වාර්ගික පදනම මත මෙම නීති ගෙනැවිත් නැති බවද නිලධාරීන් අවධාරණය කළේය.

සාකච්ඡාව සහ විරෝධය

දීර්ඝ සාකච්ඡාවකින් පසුව කාරක සභාව විසින් පනත් කෙටුම්පත අනුමත කළද, පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා ඊට සිය විරෝධය පළ කර තිබේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරංග රත්නායක, තිලිණ සමරකෝන්, විජේසිරි බස්නායක යන මහත්වරුන් මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.