වනජීවී අපරාධ අවම කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යුද හමුදාවේ ද සහාය ඇතිව විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ‘හස්ති සේනා’ ලෙස නම් කර ඇති මෙම මෙහෙයුමේදී වනජීවි අපරාධ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
කණ්ඩායම් 10ක් එක්ව කළ දැවැන්ත මෙහෙයුම
මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ ගල්කිරියාගම අඩවි බල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමිනි. වනජීවී අපරාධ බහුලව සිදුවිය හැකි බවට සැක කෙරෙන ග්‍රාම නිලධාරී වසම් 10ක් මේ සඳහා තෝරාගෙන තිබේ.
එක් කණ්ඩායමකට වනජීවී නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් සිවිල් ආරක්ෂක භටයන් දෙදෙනෙකු සහ යුද හමුදා සාමාජිකයන් හය දෙනෙකු බැගින් සාමාජිකයන් නව දෙනෙකු ඇතුළත් කර ඇති අතර, එවැනි කණ්ඩායම් 10ක්ම මෙම සෝදිසි කිරීම් සඳහා යොදවා ඇත.
සැකකරුවන් දැලේ පැටලුණු හැටි
කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නික්කිණියාව ග්‍රාම නිලධාරී වසම තුළ සිදුකළ මෙහෙයුමේදී මෙම සැකකරුවන් තිදෙනා කොටු වී ඇත.
වන අලින්ට හානි කිරීම සඳහා සකස් කළ බඳින කඳන්, කම්බි, කේබල්, මදු, පුපුරන ද්‍රව්‍ය මෙන්ම මියගිය සතුන්ගේ මස් හා විවිධ සත්ත්ව කොටස් ළඟ තබාගෙන සිටීම සම්බන්ධයෙන් මොවුන්ව අත්අඩංගුවට ගත් බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.






