ශ්‍රී ලංකාවට දකුණින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගත් ධීවර යාත්‍රාවක තිබී වීදි වටිනාකම රුපියල් බිලියන 3ක් පමණ වන 'අයිස්' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට වැඩි ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 50කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත.

අද (05) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරායේදී එම යාත්‍රාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා මේ පිළිබඳ තොරතුරු අනාවරණය කළේය.

යාත්‍රාවේ තිබී හමුවූ මත්ද්‍රව්‍ය තවදුරටත් සෝදිසි කිරීම්වලට ලක් කරන බවද හෙතෙම පැවසීය.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද සැකයක් මත ඊයේ (04) දිවයිනට දකුණින් වූ ගැඹුරු මුහුදේ ක්‍රියාත්මක කළ විශේෂ නාවික මෙහෙයුමකදී දේශීය වශයෙන් ලියාපදිංචි කර ඇති මෙම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

වැඩිදුර පරීක්ෂණ සහ විමර්ශන කටයුතු සඳහා එම යාත්‍රාව සහ එහි කාර්ය මණ්ඩලය අද උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.

මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර 10ක් පමණ යාත්‍රාවේ තිබී සොයාගෙන තිබේ.

ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා යාත්‍රාව සහ එහි කාර්ය මණ්ඩලය භාරදී ඇත.