පොළොන්නරුව, මිගස්වැව, පල්ලියගොඩැල්ල, අහම්පුර ගම්මානයේ පිහිටි නිවසක තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි තුනක් සහ තවත් උපකරණ රැසක් සොයාගෙන තිබේ. මෙම වැටලීම සිදුකර ඇත්තේ මිගස්වැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ජයරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුවයි.

ස්වාමිපුරුෂයා මාරු වෙලා බිරිඳ කොටුවෙයි

පොලිස් නිලධාරීන් එම නිවස වටලන අවස්ථාවේදී නිවසේ හිමිකරු එහි රැඳී සිට නැත. ඒ මොහොතේ නිවසේ සිට ඇත්තේ ඔහුගේ බිරිඳ පමණක් බැවින් පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

හමුවූ ආයුධ තොගය

නිවස පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි 3ක්, උණ්ඩ 8ක්, හිස් පතරොම් කොපු 9ක්, ගිනි අවි පිරිසිදු කිරීමේ උපකරණයක් සහ පතරොම් රඳවන බඳ පටියක් පොලිස් භාරයට ගෙන ඇත.

ඊට අමතරව ඊයම් බෝල 18ක් සහ ඊයම් තහඩු 5ක් ද සොයාගෙන තිබේ. මෙම ගිනි අවි සතුන් දඩයම් කිරීම සඳහා යොදාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.