කහටගස්දිගිලිය මීමින්නාවල කුඹුක්වැව ප්රදේශයේදී එක් දළයක් නොමැතිව මියගොස් සිටියදී හමු වූ ඇතාගේ මළසිරුර ගැන කළ විමර්ශනවලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඒ අනුව එම ඇතාගේ දළය කපා ඉවත් කළ බවට සැක කෙරෙන හිටපු සිවිල් ආරක්ෂක නිලධාරියෙකු වනජීවී නිලධාරීන්ගේ දැලට කොටු කර ගැනීමට හැකිව ඇත.
අවුරුදු 34ක් වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර අඩවි ආරක්ෂක දම්මික සංජීව මහතාගේ මඟපෙන්වීම යටතේ කහටගස්දිගිලිය අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසිනි.
නිවසින් සහ පැලෙන් හමුවූ දේවල්
අදාළ සැකකරුගේ නිවසේ සහ ඔහුගේ වගා පැලේ කළ සෝදිසි කිරීම්වලදී අලි වෙඩිල්ලක් හා පෙට්රල් යොදා සාදන ලද පුපුරණ ඇටවුමක්, බඳින තුවක්කුවක්, වෙඩි බෙහෙත් සහ ඊට අදාළ උපාංග දැමූ මල්ලක් සොයාගෙන තිබේ.
ඊට අමතරව වක් පිහියක්, යකඩ කපන කියතක් සහ මීමින්නාවල ප්රදේශයේ ඇතා මියගොස් සිටි තැනින් කපාගත් බවට සැක කරන ලී දඬු කිහිපයක්ද හමු වී ඇත. සොයාගත් යකඩ කපන කියත ඇතාගේ දළය කැපීමට යොදාගන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරයි.
අධිකරණයෙන් ලැබුණු නියෝගය
අත්අඩංගුවට ගත් සැකකරු අද (05) කහටගස්දිගිලිය මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ ඔහු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.






