කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මුදල් විශුද්ධීකරණ චෝදනා මත පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන් (03) පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සිකුරාදා (06) දක්වා මෙලෙස රිමාන්ඩ් කිරීමට නියෝග කෙරිණි.
කෝටි එකහමාරක හොන්ඩා වෙසල් රථය
අධිකරණයේදී කරුණු දැක්වූ නිලධාරීන් පෙන්වා දුන්නේ සැකකාරියගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 1.4ක් වන නමුත්, ඇය භාවිත කළ රුපියල් කෝටි එකහමාරකට ආසන්න ‘CBE 1874’ දරන රතු පැහැති හොන්ඩා වෙසල් රථයේ මසක ලීසිං වාරිකය රුපියල් ලක්ෂ 1.32ක් බවයි. ඇයගේ බැංකු ගිණුම්වලට විශාල මුදලක් ලැබී ඇති අතර, මෙම වාහනය මිලදී ගැනීමට මුදල් උපයාගත් අයුරු හෝ වාරික ගෙවූ ආකාරය තහවුරු කිරීමට ඇයට නොහැකි වී තිබේ.
මේ හේතුවෙන් පසුගිය ඔක්තෝබර් 16 වැනිදා අදාළ රථය විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
සමුපකාර වංචාවට සම්බන්ධ බවට සැකයක්
මාතර දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගමය සහ මාතර විවිධ සේවා සමුපකාර සමිතිය ආශ්‍රිතව සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට සම්බන්ධ පුද්ගලයෙකු මෙම රථයේ ලීසිං වාරික ගෙවා ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි වාර්තා වේ.
එම ආයතනවල හිටපු සභාපති චමින්ද ගුණසේකර මහතාට එරෙහිව රුපියල් කෝටි 500 සිට 1000 කට අධික මූල්‍ය වංචා චෝදනා ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2026 අප්‍රේල් 10 වැනිදා ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි. එම වංචාවේ මුදල්වලින් මිලදී ගත් බව කියන මෙම මෝටර් රථයට අමතරව තවත් ලොරි රථ ඇතුළු වාහන කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකාරිය වෙනුවෙන් අධිකරණයේදී සාරංග වාදසිංහ, සමීර මීකඳවත්ත, කසුන් නානායක්කාර, උදිෂා වීරරත්න සහ දිනේෂ් ගමගේ යන නීතිඥවරුන් පෙනී සිටියහ.
ඊළඟට කුමක්ද?
සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය සහ වාර්තා ලබන 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.






