හිටපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන්ගේ දේපළ හා වත්කම් පිළිබඳව පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම දේශපාලනඥයින් දෙදෙනා කලින් ලබා දුන් වත්කම් හා බැරකම් ප්‍රකාශන සහ පසුව ඉදිරිපත් කළ නව ප්‍රකාශන සැසඳීමේදී යම් වෙනස්කම් නිරීක්ෂණය වී තිබේ. අලුතින් එක් කර ඇති අතිරේක වත්කම් මොනවාද, ඒවායේ නීත්‍යනුකූල මූලාශ්‍ර සහ උපයාගත් ආකාරය තහවුරු කරගැනීමට පුළුල් අධීක්ෂණයක් හා වැඩිදුර නීතිමය විමසීම් අවශ්‍ය බව කොමිසමට පෙනී ගොස් ඇත. මෙම කටයුතු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ස්වාධීනව සිදුවන බව ද සඳහන් වේ.

පැමිණිල්ල සහ තෝරාගත් ලිපිගොනු

මෙම විමර්ශන සඳහා පසුබිම සැකසී ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය. සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු වන ජමුනි කමන්ත තුෂාර ද සිල්වා මහතා විසින් අල්ලස් කොමිසමට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. එමඟින් කැබිනට් අමාත්‍යවරුන් වන බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, සුනිල් හඳුන්නෙත්ති සහ නලින්ද ජයතිස්ස ඇතුළු රජයේ ප්‍රබලයින් හය දෙනෙකු ඉලක්ක කර තිබූ බව පැවසේ.

කෙසේ වෙතත්, එම පිරිස පිළිබඳ සිදු කළ මූලික සොයා බැලීම්වල නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් දැනට පූර්ණ විමර්ශනයක් සඳහා තෝරාගෙන ඇත්තේ කුමාර ජයකොඩි සහ සුනිල් වටගල යන මහත්වරුන්ගේ ලිපිගොනු පමණක් බව වාර්තා වේ.

ගල්අඟුරු ගනුදෙනුව ගැනත් තවත් විමර්ශනයක්

දේපළ සම්බන්ධයෙන් සිදු කෙරෙන මෙම පරීක්ෂණවලට අමතරව හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට තවත් නීතිමය ක්‍රියාවලියකට ද මුහුණ දීමට සිදු වී තිබේ.

ඒ, ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව විසින් ඔහුට එරෙහිව නොතීසි නිකුත් කිරීම හේතුවෙනි. එම නොතීසිය අනුව ඒ මහතා පසුගියදා අදාළ කොමිසම හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කර ඇත.

මූලාශ්‍රය: Gossip Lanka Newsමුල් පුවත කියවන්න