ස්පාඤ්ඤයේ 2026 වසරේ සිදුවූ මාරාන්තික දුම්රිය අනතුරු දෙකක් හේතුවෙන් ප්‍රවාහන අමාත්‍ය ඔස්කාර් පුවෙන්ටේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ නොවැම්බර් 3 වැනිදා රාත්‍රියේ පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කිරීම්වලට ලක්වීමෙන් අනතුරුව 57 හැවිරිදි පුවෙන්ටේ මෙම තීරණය ප්‍රකාශයට පත් කළ බව සඳහන් වේ.
මෙම අනතුරුවලින් පුද්ගලයින් 115 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ අමාත්‍යවරයා වගකීම භාරගත යුතු බවට විපක්ෂයෙන් මෙන්ම සන්ධානගත පාර්ශ්වයන්ගෙන්ද දැඩි විරෝධයක් එල්ල වෙමින් පැවතිණි.
අගමැතිගෙන් කැබිනට් සංශෝධනයක්
පුවෙන්ටේගේ ඉල්ලා අස්වීමෙන් පසු කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කළ ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්රෝ සැන්චෙස්, ප්‍රවාහන අමාත්‍යාංශයේ වැඩ තාවකාලිකව මෙහෙයවීම ආර්ථික කටයුතු අමාත්‍යවරයා මෙන්ම සිය නියෝජ්යවරයෙකු වන කාලෝස් ක්වෙර්පෝ වෙත පැවරූ බව නොවැම්බර් 4 වැනිදා දැනුම් දුන්නේය.
ඔක්තෝබර් 28 වැනිදා මධ්‍යම ස්පාඤ්ඤයේ උර්ඩා ප්‍රදේශයේදී දෙවැනි අනතුර සිදුවූ වහාම පුවෙන්ටේ සිය ඉල්ලා අස්වීමේ තීරණය ගෙන තිබූ නමුත්, එය අග්‍රාමාත්‍යවරයාගෙන් වසන් කර පවුලේ අයට පමණක් පවසා තිබූ බවද පසුව හෙළි විය.
“ඔහු වැනි දේශපාලනඥයින් අපේ රටට ගෞරවයක් ගෙන දෙනවා වගේම, අපි සියලුදෙනාම එක සමාන නැති බව පෙන්වා දෙනවා. සමහරු නිකම්ම දේශනා කරද්දී තවත් අය තමන්ගේ උපරිමය ලබා දෙනවා,”අග්‍රාමාත්‍ය පේද්රෝ සැන්චෙස්
මැතිවරණ හමුවේ පාලක පක්ෂයට පාඩුවක්
නීතිඥයෙකු සහ හිටපු නගරාධිපතිවරයෙකු වූ පුවෙන්ටේ 2023 නොවැම්බර් මාසයේදී අමාත්‍ය ධුරයට පත්වූ අතර, නඩත්තු ගැටලු සහ නිරන්තර බිඳවැටීම් නිසා ඔහු දිගින් දිගටම විවේචනයට ලක් විය. පසුගිය පෙබරවාරි මාසයේදීද මැඩ්රිඩ්-සෙවිල් මාර්ගයේ අනතුරක් සිදුවූ අතර ඔක්තෝබර් 28 අනතුර සිදුවූයේද එම මාර්ගයේමය.
ඉදිරි මැතිවරණය වෙනුවෙන් සූදානම් වන පාලක සමාජවාදී පක්ෂයට ඔහුගේ ඉවත්වීම දැඩි පාඩුවක් බව වාර්තා වේ. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රබල සහායකයෙකු වූ ඔහු, X සමාජ මාධ්‍ය වේදිකාවේ මෙන්ම පාර්ලිමේන්තුවේදීද ආක්‍රමණශීලී ලෙස හැසිරුණු චරිතයකි.
ඊළඟට කුමක්ද?
පුවෙන්ටේගේ ඉල්ලා අස්වීම නිල රාජ්‍ය ගැසට් පත්‍රයේ පළවීමෙන් පසු බලාත්මක වීමට නියමිත අතර, එළඹෙන නොවැම්බර් 29 වැනිදා පැවැත්වෙන මැතිවරණය සඳහා තමන් අපේක්ෂකයෙකු ලෙස තරග නොකරන බවද ඔහු තහවුරු කර ඇත.






