යෝජිත 'රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ) පනත් කෙටුම්පත' හරහා රාජ්‍ය නොවන සහ ලාභ නොලබන සංවිධානවල ක්‍රියාකාරකම් රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල විය යුතු බවට දක්වා තිබූ වගන්තිය ඉවත් කර ගැනීමට රජය කැමැත්ත පළ කර තිබේ. මෙම වගන්තිය නිසා සංවිධානය වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා එල්ල වන බවට සිවිල් සමාජයෙන් නැඟුණු විරෝධතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න ඩී. විතානගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම වගන්තිය වැරදි ලෙස අර්ථකථනය වීමට ඉඩ ඇති බව පිළිගන්නා රජය එය ඉවත් කිරීමට පියවර ගන්නා බවයි. අතීතයේ ඇතැම් සිදුවීම් මුල් කරගෙන මෙය ඇතුළත් කළත්, වර්තමාන පනතට එහි සෘජු අදාළත්වයක් නොමැති බව රජය පිළිගෙන තිබේ.
සාකච්ඡා සහ කමිටු තීරණ
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ අධ්යක්ෂ ජනරාල්වරයා පසුගිය ජූලි සහ අගෝස්තු මාසවලදී සිවිල් සමාජ එකමුතුව හමුවී සාකච්ඡා පවත්වා ඇත. එහිදී පත් කරන ලද සාමාජිකයන් 13 දෙනෙකුගෙන් යුත් කමිටුව මේ වන විට දෙවරක් රැස්වී ඇති අතර, ඉදිරියේදී මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් එක්කර ගනිමින් එය පුළුල් කිරීමට නියමිතය.
දේශපාලන කටයුතුවලට මැදිහත්වීම සීමා කිරීම ඇතුළු තවත් වගන්ති කිහිපයක් ගැනද නැවත සලකා බලන බව සඳහන් වේ. පූර්ව මැතිවරණ සමයක අරමුදල් දේශපාලනයට යෙදවීම වැළැක්වීමේ වගන්තිය සම්බන්ධයෙන් ද සාකච්ඡා කර සංශෝධනය කිරීමට රජය සූදානම් බව ප්‍රකාශ කර ඇත.
ලියාපදිංචිය සහ ජාත්‍යන්තර ඇගයීම
ලියාපදිංචිය ප්‍රතික්ෂේප වූ විට අභියාචනා ඉදිරිපත් කිරීමට මාසයක කාලයක් ලැබෙන බවත්, වරෙන්තුවකින් තොරව සෝදිසි කිරීම් සිදු කරන බවට පළ වන වාර්තා සත්‍ය නොවන බවත් රජය පෙන්වා දෙයි. මේ වසරේ සැප්තැම්බර් 30 වන විට රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි මුළු සංවිධාන සංඛ්‍යාව 49,765කි. ඊට ජාතික මට්ටමේ සංවිධාන 1,948ක්, දිස්ත්‍රික් මට්ටමේ සංවිධාන 1,067ක් සහ ප්‍රාදේශීය මට්ටමේ සංවිධාන 47,152ක් ඇතුළත් වේ.
මෙම පනත සමාලෝචනය කෙරෙන්නේ 2026 ඔක්තෝබර් 26 සිට නොවැම්බර් 6 දක්වා පැවැත්වීමට නියමිත ආසියා/පැසිෆික් සමූහයේ (APG) අන්‍යෝන්‍ය ඇගයීමට පෙරය. එම ඇගයීමේ ප්‍රතිඵලය අයහපත් වුවහොත් ශ්‍රී ලංකාව FATF අළු හෝ අසාදු ලැයිස්තුවට වැටීමේ අවදානමක් ඇති බැවින්, ආයතන 80කට වැඩි ප්‍රමාණයක් මේ සඳහා සූදානම් වෙමින් සිටී.






