කාවන්තිස්ස හස්තියා මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු සොයා බැලීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලා තමන් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය 23 වැනි දින කථානායකවරයා වෙත යෝජනාවක් යොමු කළ බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එම ඉල්ලීමෙන් පසුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අවස්ථා තුනකදී රැස්වුවද, එම යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

වෙනත් යෝජනාවලට ප්‍රමුඛතාව දීලා

තමන්ගේ යෝජනාව පසෙකලා ඉන් පසුව ඉදිරිපත් කළ වෙනත් යෝජනාවලට පවා ප්‍රමුඛතාව දී කටයුතු කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා සිය ලිපියෙන් චෝදනා කරයි. කාවන්තිස්ස හස්තියා ඇතුළු වනජීවි සම්පත පිළිබඳ ජාතික වැදගත්කමට රජය නිසි අවධානයක් දී නැති බවද එහි දැක්වේ.

මේ හේතුවෙන් විපක්ෂ නායකවරයා ලෙස තමන්ට පැවරී ඇති ව්‍යවස්ථානුකූල හා පාර්ලිමේන්තු වගකීම් ඉටු කිරීමට බාධා සිදුව ඇති බවත්, එය වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බවත් ඔහු අවධාරණය කරයි. ඒ අනුව මෙම පැමිණිල්ල ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කර පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියි.