යුරෝපයේ ප්‍රධාන නගර යා කරමින් පියාසර කළ මගී ගුවන් යානා කිහිපයකටම එල්ල වූ හදිසි බෝම්බ තර්ජන නිසා යුරෝපීය ගුවන් සීමාව දැඩි නොසන්සුන් තත්ත්වයකට පත් විය. කෙසේ වෙතත්, බලධාරීන් පසුව අනාවරණය කළේ ගුවන් ගමන් අඩාල කිරීමේ අරමුණින් මෙම සියලු ව්‍යාජ අනතුරු ඇඟවීම් සිදු කර ඇති බවයි.
සෝපියා සහ රෝමයට ආ යානා සෝදිසි කිරීම්
අයර්ලන්තයේ ඩබ්ලින් සිට මගීන් 185 දෙනෙකු රැගෙන බල්ගේරියාවේ සෝපියා බලා පැමිණි රයන්එයාර් (Ryanair) යානයක් බෝම්බ තර්ජනයක් හේතුවෙන් දැඩි සෝදිසියකට ලක් කෙරුණි. එහි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් නොතිබූ බව ආරක්ෂක අංශ තහවුරු කළේය. ඩබ්ලින් සහ බර්ගමෝ සිට සෝපියා වෙත ආ ගුවන් යානා දෙකකටම මෙවැනි තර්ජන එල්ල වූ බව බල්ගේරියානු ප්‍රවාහන අමාත්‍ය ජෝර්ජ් පීව් ප්‍රකාශ කර ඇත.
මේ අතර රෝමය බලා පැමිණෙමින් තිබූ තවත් රයන්එයාර් යානයක බෝම්බයක් ඇති බවට විද්‍යුත් තැපෑලෙන් තර්ජනයක් ලැබුණු නමුත්, පරීක්ෂණවලින් අනතුරුව එහිද කිසිදු පුපුරන ද්‍රව්‍යයක් නොමැති බව හෙළි විය.
වෝර්සෝ බලා ගිය යානය වෙනත් තැනකට
ලන්ඩන් හීත්රෝ සිට පෝලන්තයේ වෝර්සෝ බලා ගමන් ගත් එල්.ඕ.ටී. (LOT) පෝලන්ත ගුවන් සේවයට අයත් යානයක්ද බෝම්බ සැකයක් නිසා වෙනත් ගුවන්තොටුපළකට හරවා යැවීමට පියවර ගැනිණි. එහි සිටි මගීන් 181 දෙනා සමග යානය නිරුපද්‍රිතව ගොඩබැස්සවූ පසු මුදාගැනීමේ කණ්ඩායම් පරීක්ෂා කළත් කිසිදු සැකකටයුතු දෙයක් හමු නොවීය.
මෙම ව්‍යාජ ඇමතුම් හා විද්‍යුත් පණිවිඩ පිටුපස සිටින්නේ කවුරුන්දැයි මෙතෙක් හෙළිවී නැතත්, විදෙස්ගත ද්වේශසහගත පිරිසක් මීට සම්බන්ධ බවට සැක කෙරේ. අදාළ රටවල ආරක්ෂක අංශ මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ පවත්වයි.





