ගාසා තීරයේ අවතැන් වූ දස දහස් ගණනක් පලස්තීනුවන් ජීවත් වූ කූඩාරම් සහ තාවකාලික නවාතැන් දැඩි වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර නිසා සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී තිබේ. අයහපත් කාලගුණයෙන් ආරක්ෂා වීමට මේවා ප්‍රමාණවත් නොවීම නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බව බලධාරීන් පවසයි.

පැවති අයහපත් තත්ත්වය හමුවේ පලස්තීන සිවිල් ආරක්ෂක අංශ වෙත හදිසි ඇමතුම් 1,500කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව සඳහන් වේ.

කූඩාරම් 70,000ක් ජලයෙන් යටවෙයි

රජයේ මාධ්‍ය කාර්යාලය නිකුත් කළ තොරතුරුවලට අනුව, සිකුරාදා රාත්‍රියේ සිට හමාගිය ප්‍රබල සුළඟ සහ අධික වැස්ස නිසා කූඩාරම් 70,000ක් ජලයෙන් යටවී ඇති අතර බිත්ති රැසක්ද කඩා වැටී ඇත. නිවැසියන්ගේ මෙට්ට, කොට්ට සහ ඇඳුම් පැළඳුම් සියල්ල ජලයෙන් තෙත්ව ගොස් තිබේ.

අවතැන් වූ පලස්තීනුවන් ලක්ෂ 4කට ආසන්න පිරිසක් තවදුරටත් ගංවතුර අවදානම පවතින ප්‍රදේශවල රැඳී සිටින බවටද අනතුරු අඟවා ඇත.

“මෑතකදී ඇති වූ කුණාටුවෙන් පෙනී ගියේ ඔවුන් සතු ආරක්ෂාව කෙතරම් දුර්වලද යන්නයි. පැය කිහිපයක් ඇතුළත, දැඩි වර්ෂාව සහ ප්‍රබල සුළං හේතුවෙන්, දින ගණනක් තිස්සේ ශක්තිමත් කිරීමට වෙහෙස මහන්සි වී කටයුතු කළ නවාතැන් විනාශ වී ගියා,”අල්-ජසීරා වාර්තාව

සීමා කිරීම් මැද මතුවූ අර්බුදය

යුද්ධයෙන් පීඩා විඳින ගාසා තීරයට එවන ආධාර සැපයුම් සඳහා ඊශ්‍රායලය දැඩි සීමා පනවා ඇති මොහොතක මෙම ගංවතුර තත්ත්වය මතුව තිබේ. මෙම කුණාටුව හේතුවෙන් සිදුව ඇති සමස්ත අලාභය ඩොලර් මිලියන 3ක් පමණ වෙතැයි ගණන් බලා ඇත.

දකුණු ඊශ්‍රායලයට හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් පසු 2023 ඔක්තෝබර් 7 වන දින ඇරඹි මෙම යුද්ධයෙන් පුද්ගලයින් 74,640කට අධික පිරිසක් මියගොස් තිබේ. 2025 ඔක්තෝබර් මාසයේ ක්‍රියාත්මක වූ සටන් විරාමයෙන් පසුවද ඊශ්‍රායලය විසින් අවම වශයෙන් පලස්තීනුවන් 1,610 දෙනෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.