විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූ පිරිස් රැඳී සිටින කූඩාරම් මැද, පලස්තීන තරුණ තරුණියන් වෙනුවෙන් මෙම අපූරු මංගල උත්සවය පැවැත්වුණේ ගාසා නගරයේ වෙරළ තීරයේ පිහිටි උත්සව ශාලාවකදීය. දැඩි ආර්ථික ගැටලුවලට මැදිව සිටින තරුණ පරපුරට අස්වැසිල්ලක් වෙමින් ආදරයේ නව බලාපොරොත්තුවක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
මෙම දැවැන්ත අවස්ථාව සංවිධානය කර තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය මෙහෙයුමක් වන 'Operation Gallant Knight 3' යටතේ ක්‍රියාත්මක වූ විශේෂ ව්‍යාපෘතියක් හරහාය. ඒ සඳහා ඉදිරිපත් වූ අයැදුම්කරුවන් 11,622 දෙනෙකු අතරින් මනාල යුවළ තෝරාගෙන ඇත්තේ විශේෂ ලොතරැයි ක්‍රමයක් මඟිනි.
සාම්ප්‍රදායික නැටුම් සහ මංගල රථ පෙළපාළිය
සමූහ මංගල උත්සවය අතරතුර නව යුවළ සාම්ප්‍රදායික සංගීතයට අනුව නැටුම් ඉදිරිපත් කරමින් ප්‍රීති වූ අතර, අලංකාර ලෙස සැරසූ මංගල රථ ගාසා තීරයේ වෙරළබඩ මාර්ගයේ ගමන් කරන අයුරුද දැකගත හැකි විය. උත්සව ශාලා භූමිය පුරා පලස්තීන මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ධජද ප්‍රදර්ශනය කර තිබූ බව වාර්තා වේ.
දැඩි යුදමය ගැටුම් සහ අසීරු තත්ත්වයන් හමුවේ වුවද ජීවිතය ඉදිරියට ගෙන යාමට සහ තමන්ගේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට දරන උත්සාහයේ සුවිශේෂී සලකුණක් ලෙස මෙය සැලකේ.
අඛණ්ඩ ගැටුම් මැද ආ බලාපොරොත්තුව
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද තවමත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර දිනපතා පාහේ සිදුවන බව සඳහන් වේ. 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 1200ක් පමණ මියගොස් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගැනීමත් සමඟ මෙම ගැටුම් ඇරඹිණි.
ඊට පිළිතුරු ලෙස ඊශ්‍රායලය ඇරඹූ හමුදා මෙහෙයුම් හමුවේ එම ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනුව පුද්ගලයින් 74,640කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. එවන් කටුක වාතාවරණයක් මැද පලස්තීන යුවළ 250ක් මෙලෙස විවාහ දිවියට පිවිසීම ලොව පුරා කාගේත් දැඩි අවධානයට පාත්‍ර වී තිබේ.






