ඉන්දියාවේ සේවා අංශයේ වර්ධනය පසුගිය ඔක්තෝබර් මාසයේදී මාස හතරක ඉහළම අගයට ළඟා වී ඇති බව වාර්තා වේ. දේශීය වෙළෙඳපොළේ ඉල්ලුම ශක්තිමත් වීම හා නව ව්‍යාපාරික ඇණවුම් වැඩිවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බව නව සමීක්ෂණ වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.
එච්.එස්.බී.සී. බැංකුවේ ඉන්දියානු සේවා අංශයේ මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය හෙවත් පී.එම්.අයි. දර්ශකය සැප්තැම්බර් මාසයේ පැවති 55.2ක අගයේ සිට ඔක්තෝබර් මාසයේදී 55.8 දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, එය මූලිකව ඇස්තමේන්තු කර තිබූ 56.2ක අගයට වඩා යම් මට්ටමකින් අඩුය. මෙම දර්ශකයේ අගය 50ට වඩා වැඩිවීමෙන් පෙන්නුම් කරන්නේ අදාළ අංශය වර්ධනය වන බවයි.
ජාත්‍යන්තර ඇණවුම් සහ සේවක බඳවා ගැනීම් පහතට
නව ව්‍යාපාරික ඇණවුම් ලැබීම ජුනි මාසයෙන් පසුව ඉතාම වේගවත් මට්ටමකට පැමිණියද, ඊට මූලිකවම දායක වී ඇත්තේ දේශීය ඉල්ලුමයි. ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉල්ලුම සැලකිය යුතු ලෙස දුර්වල වී ඇති අතර, නව අපනයන ඇණවුම්වල වර්ධනය මාස 45කින් වාර්තා වූ මන්දගාමීතම වේගය පෙන්නුම් කර තිබේ.
මේ අතර නව සේවකයන් බඳවා ගැනීම්ද බොහෝ දුරට නතර වී ඇති අතර, එහි වර්ධන වේගය මාස 10කින් වාර්තා වූ අඩුම මට්ටමට වැටී ඇතැයි සඳහන් වේ.
වියදම් සහ සමස්ත වර්ධනය
උද්ධමන පීඩනයෙහි අඩුවීමක් දක්නට ලැබෙන අතර සමාගම් පාරිභෝගිකයන්ගෙන් මිල අය කර ඇත්තේ මාස හතරකින් වාර්තා වූ අඩුම වේගයෙනි. නිෂ්පාදන සහ සේවා වියදම් ඉහළ යාම වසර හයකට වැඩි කාලයකින් වාර්තා වූ අවම මට්ටමට වැටී ඇතත්, විදුලිබලය, ශ්‍රමය, අමුද්‍රව්‍ය හා ප්‍රවාහන ගාස්තු තවමත් වැඩිවෙමින් පවතින බව සමාගම් පවසයි.
ව්‍යාපාරික විශ්වාසය සැප්තැම්බර් මාසයට වඩා පහත වැටී ඇතත්, නිෂ්පාදන හා සේවා අංශ දෙකම ආවරණය වන සමස්ත සංයුක්ත පී.එම්.අයි. දර්ශකය සැප්තැම්බරයේ පැවති 55.9 සිට ඔක්තෝබරයේදී 56.2 දක්වා මාස හතරක උපරිමයකට නැඟී තිබේ.






