අරලියගහ මන්දිරයේ ඊයේ (05) පස්වරුවේ පැවති 'ඉවත්වෙනු' මෙහෙයුමේ වසරක ඇගයුම් සහ ආගමික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය. විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීම සඳහා සමාජයේ මතවාදී මෙන්ම ආකල්පමය වෙනසක් ඇති කිරීමේ පෙරමුණ ගන්නා ලෙස ඔහු සියලු ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. මීට සමගාමීව 'රටම එකට' ජාතික මෙහෙයුමේ නිල වෙබ් අඩවිය වන www.1818.gov.lk එළිදැක්වීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
දරුවන් බිලිගන්නා මත් උවදුරේ තරම
2022 වසරේදී අවුරුදු 18ට අඩු එක් අයකු පමණක් අයිස් සමඟ අත්අඩංගුවට පත්වූ තත්ත්වයේ සිට, වයස අවුරුදු 5ත් 14ත් අතර දරුවන් පවා ගොදුරු වන තත්ත්වයකට රට පත්ව ඇති බව ජනාධිපතිවරයා සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය. 2025 වන විට අවුරුදු 18ට අඩු තරුණයන් 1,874ක් අයිස් සමඟ අත්අඩංගුවට පත්ව ඇති අතර, වයස 14ත් 18ත් අතර ළමුන් 1,068ක්, අවුරුදු 5ත් 14ත් අතර ළමුන් 13ක් සහ දැරියන් දෙසිය ගණනක් ද වැරදි සම්බන්ධයෙන් හසුව ඇති බව පැවසීය.
මේ වසර තුළ විවිධ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 438,330ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අයිස් කිලෝග්‍රෑම් 6,528ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 4,000ක්, හෂීස් කිලෝග්‍රෑම් 1,841ක්, කොකේන් කිලෝග්‍රෑම් 314ක්, මත්පැති මිලියන 45කට ආසන්න ප්‍රමාණයක් සහ වෙනත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,598ක් ඇතුළත් වන බවත්, ගංජා ද සමගින් මේවායේ මුළු වටිනාකම රුපියල් බිලියන 224ක් බවත් සඳහන් විය.
කළු සල්ලි ජාලයට එරෙහිව ගත් පියවර
මෙම කළු සල්ලි බලයෙන් රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පොලීසිය හා දේශපාලනඥයන් පවා මිලදී ගැනීමට ජාවාරම්කරුවන් කටයුතු කර ඇති බව අනාවරණය විය. අතීතයේ ඇතැම් ජාවාරම්කරුවන් පළාත් පාලන ආයතන සභාපතිවරුන් වූ බව ද ජනපති සිහිපත් කළේය.
මෙම අපරාධ ජාලය මැඩලීමට විදේශවල සැඟවුණු සංවිධානාත්මක අපරාධකරුවන් 67ක් යළි ගෙන්වා ඇති අතර, තවත් 112 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර රුපියල් මිලියන 4,500ක දේපළ තහනම් කර ඇත. හමුදා කඳවුරුවලින් පිටවූ බවට විගණන වාර්තාවල දැක්වුණු ටී-56 ගිනි අවි 97ක්, පිස්තෝල 143ක්, රිවෝල්වර 105ක් සහ ඒ.කේ. 47 ගිනි අවියක් ද මේ වසරේ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සමුළුවට එක්වූ ප්‍රභූ පිරිස
පූජ්‍ය නියංගොඩ විජිතසිරි, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, පූජ්‍ය බලපිටියේ සිරි සීවලී, පූජ්‍ය වළේබොඩ ගුණසිරි යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරුතුමා, ශ්‍රී වේලු සුරේෂ් ෂර්මා කුරුක්කල්තුමා සහ ෂෙයික් මොහොමඩ් අර්කම් නුරාද්දින් මවුලවිතුමා ඇතුළු ආගමික නායකයෝ මීට සහභාගී වූහ. ආනන්ද විජේපාල සහ ආචාර්ය සුනිල් සෙනෙවි යන අමාත්‍යවරුන් ඇතුළු මැති ඇමතිවරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.






