මැදපෙරදිග පවතින ගැටුම් අවසන් කිරීම සඳහා ධනාත්මක පරිසරයක් නිර්මාණය වී ඇති හෙයින්, මේ අවස්ථාවේදී ඉරානය ඉලක්ක කර නව ප්‍රහාර දියත් කිරීමේ අවශ්‍යතාවක් නැති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

නමුත් යම් හෙයකින් තත්ත්වය වෙනස් වුවහොත්, ඕනෑම මොහොතක පෙරමුණ ගෙන ක්‍රියාත්මක වීමට අමෙරිකාව සූදානම්ව පසුවන බව ද ඔහු සඳහන් කළේය.

කටාර් සහ සෞදි රාජ්‍යයන්ගේ සාම උත්සාහය

ඉරානය සම්බන්ධ මෙම අර්බුදයට සාමකාමී මඟකින් විසඳුම් සොයාගැනීමට කටාර් රාජ්‍යය මෙන්ම සෞදි අරාබිය ද දැඩි උනන්දුවක් දක්වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා රොයිටර් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් අනාවරණය කළේය.

කටාර් අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් පසුව අදහස් දැක්වූ ඔහු, කටාර් රාජ්‍යය සහ සෞදි අරාබිය සාමකාමී විසඳුමක් දැකීමට කැමැත්තෙන් සිටින බව පැහැදිලි කර තිබේ. කෙසේ වෙතත්, අවශ්‍යතාවක් මතු වුවහොත් යළිත් හමුදා ප්‍රහාර එල්ල කිරීමට එක්සත් ජනපදය නොපැකිලව සූදානමින් සිටින බව ඔහු අවධාරණය කළේය.

“සාමකාමී විසඳුමක් දැකීමට කැමැත්තෙන් සිටින”ඩොනල්ඩ් ට්‍රම්ප්

හොර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික මෙහෙයුම්

හොර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඉරානයට එරෙහිව එක්සත් ජනපදය විසින් පනවා ඇති නාවික අවහිරය සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බව ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.

ඒ හේතුවෙන් නැවත වරක් ප්‍රහාර ආරම්භ කිරීම සඳහා තමන්ට කිසිදු කලබලයක් හෝ හදිසියක් නොමැති බව ද ඔහු ඉඟි කර ඇත.