ලෝක බැංකුවේ නවතම දත්ත වාර්තාවන්ට අනුව පාකිස්තානය මුහුණ දී සිටින දැවැන්ත ණය අර්බුදය පිළිබඳ තොරතුරු රැසක් එළියට පැමිණ තිබේ. 2015 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 68.7 ක්ව පැවති එරට විදේශ ණය තොගය, 2025 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 135.1 ක් දක්වා විශාල වශයෙන් වර්ධනය වී ඇති බව පැවසෙයි.

ණය බෙදී ගිය ආකාරය

මෙම මුළු ණය කන්දරාවෙන් ඩොලර් බිලියන 107.08 ක්ම රජයේ සහ රාජ්‍ය ඇපකර යටතේ ලබාගත් ණය බව වාර්තා වේ. මීට අමතරව රාජ්‍ය ඇපකර නොමැතිව පෞද්ගලික අංශය ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 17.58 ක් වන අතර, කෙටිකාලීන විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10.45 ක් ලෙස සටහන්ව ඇත.

රාජ්‍ය මට්ටමේ ණය අතරින් වැඩිම කොටස වන ඩොලර් බිලියන 56.83 ක් බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති අතර, ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් ලබාගෙන ඇති ප්‍රමාණය ඩොලර් බිලියන 42.43 ක් බව සඳහන්ය.

වැඩිම ණය දී ඇත්තේ චීනයයි

පාකිස්තානයට වැඩිම ණය මුදලක් ලබාදී ඇති තනි රට බවට තවදුරටත් චීනය පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව පාකිස්තානය විසින් චීනය වෙත ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 22.4 ක් පමණ වන බව වැඩිදුරටත් අනාවරණය වේ.