එළැඹෙන 12 වැනි දින ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත 2027 අයවැය සම්බන්ධයෙන් අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ කරුණු කිහිපයක් අනාවරණය කළේය.

ඉදිරි වසර තුන තුළ ආර්ථිකයේ ඉහළ වර්ධනයක් අත්පත් කර ගැනීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 2,000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය.

බදු සහන සහ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම්

ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කළ පරිදි ඇතැම් ක්ෂේත්‍ර සඳහා බදු සහන ලැබෙන බව පැවසූ අමාත්‍යවරයා, ආර්ථිකය ස්ථාවර වූ පමණින් සියලු බදු ඉවත් කළ නොහැකි බවත් ලෝක ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන තීන්දු ගත යුතු බවත් පෙන්වා දුන්නේය.

එමෙන්ම ජනවාරි මාසයේදී රාජ්‍ය සේවකයින්ට වැටුප් වර්ධකයක් හිමිවන බවත්, 2025 අප්‍රේල්, 2026 ජනවාරි සහ 2027 ජනවාරි මාසවලදී මූලික වැටුප් වැඩිවීමක් ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මීට අමතරව ඇතැම් ක්ෂේත්‍ර සඳහා දීමනා වැඩිවීම්ද අයවැයට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

“ඊළඟ වසර තුනේ අපේ අපේක්ෂාව බවට පත්වෙන්නේ ආර්ථිකයේ ඉහළ වර්ධනයක් අත්පත් කරගන්න එක. ඒක යම් පරිවර්ථනීය වෙනසක් සිදුකරමින් තමයි කරන්න වෙන්නේ. ඒකට අදාළ කරන යෝජනා ඉදිරිපත් වේවී. ජනාධිපතිතුමාත් දැන් කියලා තියෙන හැටියට සමහර ක්ෂේත්‍රවල බදු සහන ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් ආර්ථිකය ස්ථාවරයි කියපු පමණින් සියලු බදු අතහරින්න බෑ.”අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

ඊළඟට කුමක්ද?

එළැඹෙන 12 වැනි දින ජනාධිපතිවරයා විසින් 2027 අයවැය ඉදිරිපත් කිරීමට නියමිතය.