කොළඹ නගර සභා බල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් මාර්ග ඇතුළු ස්ථාන රැසක් ජලයෙන් යටවීම පිළිබඳව අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළේය. නගරයේ කාණු පද්ධතියේ සහ ඇළ මාර්ගවල සම්පූර්ණ දිග ප්‍රමාණය කිලෝමීටර් 469ක් බව එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
2014 වසරේ සිට මේ දක්වා සිදු කළ ප්‍රතිසංස්කරණ මඟින් පැයකට මිලිමීටර් 102ක වැස්සකට ඔරොත්තු දෙන සේ සකසා ඇත්තේ එයින් කිලෝමීටර් 20ක ප්‍රමාණයක් පමණක් බවත්, තව බොහෝ දුරට එම කටයුතු සිදු කිරීමට ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ජාතික රෝහල යටවීම සහ නඩත්තු ගැටලු
ජාතික රෝහල් පරිශ්‍රයේ ජල ගැලීමක් සිදුවූ බව පැවසූ අමාත්‍යවරයා, නොරිස් කැනල් එක සුද්ධ කිරීමේදී ඉවත් කරගත නොහැකි වූ නිවාස 8ක් තවමත් පවතින බවත් මිලියන 11ක වන්දියක් ගෙවීමට උත්සාහ කළද එය තවමත් කරගත නොහැකි වූ බවත් විස්තර කළේය.
කලින් වාර්තා පැය 24කට සටහන් වුවද මෙවර පැය 2ක් තුළ මිලිමීටර් 129ක හෝ මිලිමීටර් 130-150ක අධික වර්ෂාපතනයක් ලැබීම මෙලෙස ජලය පිරීමට ප්‍රධාන හේතුවක් වූ බවද ඔහු පැවසීය.
“කොළඹ නගර සභාව සීමාව තුළ ජලය බැස යන කාණු පද්ධතියේ සහ මේ ඇළ මාර්ගවල සම්පූර්ණ දිග ප්‍රමාණය කිලෝමීටර් 469ක්. 2014 ඉඳලා මේ වන තෙක් කරන ලද ප්‍රතිසංස්කරණවල, අලුත්වැඩියාවල මේ මැදිහත්වීම්වලින් මේ 469න් කිලෝමීටර් 20ක පමණ දුර ප්‍රමාණයක පැයකට මිලිමීටර් 102ක වර්ෂාපතනයකදි ජලය බැස යාමට අවශ්‍ය කරන ලෙස සකස් කරලා තියෙනවා.”අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
විසඳුම් සහ ජනතාවගේ වගකීම
ජලය බැසයාමේ පද්ධතියේ පවතින පැරණිකම මෙන්ම අනවසර ඉදිකිරීම් සහ අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම නිසා කාණු අවහිර වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ආයතන ගණනාවක් එක්ව වේගවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, නොදිරන ද්‍රව්‍ය කාණුවලට නොදමා ජනතාව ද සහාය දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.






