HSBC Electronic Data Processing Lanka ආයතනය වසා දමා මෙරට මෙහෙයුම් වෙනත් රටකට රැගෙන යාමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඉල්ලීමක් කර තිබේ. ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ HSBC සමාගමේ සභාපතිවරයා සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමිනි.

දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවති මෙම හවුල්කාරිත්වය හරහා බොහෝ පිරිසකගේ වෘත්තීය ජීවිත හැඩගැසුණු බවත්, පවුල් ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට ජාත්‍යන්තර මට්ටමේ කුසලතා ලබා දුන් බවත් මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දී ඇත. හුදු ආයෝජනයක් ලෙසින් ඇරඹි මෙම පියවර රටට මෙන්ම HSBC සන්නාමයට ද අභිමානයක් එක් කළ බව ඔහු සිහිපත් කරයි.

ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටින්නැයි ඉල්ලීමක්

මෙම ව්‍යාපෘතිය මෙරටට ගෙන ඒමට මුල් පියවර තැබුවේ අපේ ජනතාවගේ දක්ෂතා සහ ඒවා හඳුනාගැනීමට HSBC ආයතනය දැක්වූ උනන්දුව කෙරෙහි තිබූ දැඩි විශ්වාසය නිසා බව මන්ත්‍රීවරයා සඳහන් කරයි. එම විශ්වාසය අදටත් නොවෙනස්ව පවතින බවත්, ඉදිරියට යාමට මඟක් සෙවීමට දක්ෂතා හා සම්පත් එක් කළ හැකි බවත් ලිපියේ දැක්වේ.

මේ නිසා ලංකාවෙන් ඉවත් වීමේ තීරණය ගැන නැවතත් සිතා බලා, මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටින ලෙසත්, වසර විස්සකට පෙර ආරම්භ කළ හවුල්කාරිත්වයට අලුත් පණක් ලබා දෙන ලෙසත් තමන් හෘදයාංගමව ආයාචනා කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.