නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව දකුණු ගැඹුරු මුහුදේදී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවක තිබී කිලෝග්‍රෑම් 150කට අධික මත්ද්‍රව්‍ය තොගයක් හමුවී ඇත. ඊයේ (04) දින නාවික හමුදා භාරයට ගත් මෙම යාත්‍රාව අද (05) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ අතර, එහි තිබූ උර 10ක් පරීක්ෂාවට ලක්කෙරිණි.
එම අවස්ථාවේදී අත්අඩංගුවට ගත් ධීවරයින් 5 දෙනෙකු ද දික්ඕවිට වරාය වෙත රැගෙන විත් ඇති බව වාර්තා වේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූ තොරතුරු
දික්ඕවිට ධීවර වරාය වෙත පැමිණි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මාධ්‍ය හමුවේ පැවසුවේ මෙම තොගයේ කිලෝ 100කට අධික අයිස් සහ කිලෝ 50කට අධික හෙරොයින් අඩංගු බවයි. මෙහි වීථි වටිනාකම රුපියල් බිලියන 3කට අධික බවද ඒ මහතා සඳහන් කළේය. නාවික හමුදාව විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය මේ වනවිටත් ගණනය කරමින් සිටී.
මත්ද්‍රව්‍ය තුරන් කිරීමට රජයක් ලෙස සියලු පියවර ගන්නා බවත්, ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට පවරා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය වැටලීම්වල වාර්තා
2025 වසරේදී නාවික හමුදාව රුපියල් බිලියන 75ක මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ඇති අතර, රටම එකට යටතේ රුපියල් බිලියන 109කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ. 2026 වසරේ ගතවූ කාලය තුළදී පමණක් නාවික හමුදා මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 69ක මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සමස්ත වැටලීම්වලින් පුද්ගලයින් 314,200ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 1,050ක් ප්‍රබල සාමාජිකයින් වේ. බහුදින යාත්‍රා 11ක් ඇතුළුව යාත්‍රා 63ක් නාවික හමුදාව භාරයට ගෙන පුද්ගලයින් 353දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු 1818 ක්ෂණික දුරකථන අංකයට දැනුම්දෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.






