අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය, නීතිඥ රඛිත රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම් සහ වාහන මාස තුනක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කරන ලෙස අද (05) නියෝගයක් නිකුත් කර ඇත.

කෝටි 12ක අල්ලස් චෝදනාව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන හරක් කටා නමැත්තා ආරක්ෂිත බන්ධනාගාරයකට මාරු කිරීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔවුන් ඇප මත මුදාහැරියද, අල්ලසක් ලෙස ලබාගත් බව කියන එම රුපියල් කෝටි 12ක මුදල මෙතෙක් සොයාගෙන නොමැති බව සඳහන් වේ. මේ හේතුවෙන් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත යටතේ ඔවුන්ගේ දේපළ ගැන අල්ලස් කොමිසම විමර්ශන අරඹා තිබේ.

ගිණුම්වල තිබූ මුදල් සහ දැනුම්දීම

මෙම විමර්ශනවලට අනුව රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් 4ක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් අල්ලස් කොමිසම මීට පෙර තහනම් කර තිබූ අතර, එම ගිණුම්වල රුපියල් කෝටි 4ක පමණ මුදලක් තිබූ බව ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් වාචිකව දැනුම් දීමට නිලධාරීන් කිහිපවරක් රාජගිරියේ පිහිටි ඔහුගේ නිවාස සංකීර්ණයට ගියද ඔහු නොසිටි බැවින්, එම දැනුම්දීම ඔහුගේ බිරිඳට සිදුකළ බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.