කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් වයස අවුරුදු 60 සම්පූර්ණ කළ ගොවීන් 170,950 දෙනෙකු වෙනුවෙන් තැපැල් කාර්යාල 3,975ක් මගින් මාසිකව රුපියල් මිලියන 415කට අධික මුදලක් විශ්‍රාම වැටුප් වශයෙන් ලබා දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

නව රජය පත්වීමෙන් අනතුරුව ලබාදුන් උපදෙස් මත, 2024 වර්ෂයට පෙර ගොඩගැසී තිබූ විශාල විශ්‍රාම වැටුප් අයදුම්පත් ප්‍රමාණයක කටයුතු සකස් කර අවසන් කර ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

හිඟ මුදල් ගෙවීම සහ වාරික සැකසීම

අඩුපාඩු කිසිවක් නොමැති අයදුම්පත් සඳහා මසක් ඇතුළත විශ්‍රාම වැටුප් ගෙවීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇත. එසේම, නිසි පරිදි වාරික ගෙවා නැති සහ 25%කට වඩා වාරික ගෙවා ඇති දායකයන් වෙනුවෙන් ශුද්ධ වාරික සකස් කිරීමේ කටයුතු ද ආරම්භ කර තිබේ.

මේ අතර 2014 ජනවාරි 01 වන දින සිට වයස අවුරුදු 60 සම්පූර්ණ වූ ගොවීන්ගේ තාවකාලිකව නවත්වා තිබූ හිඟ විශ්‍රාම වැටුප් ලබා දීමේ ක්‍රියාවලිය ද වත්මන් රජය මගින් ආරම්භ කර ඇත. මෙම හිඟ මුදල් ගෙවීම් සිදු කරනු ලබන්නේ මහා භාණ්ඩාගාරය විසින් වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අනුව බව වැඩිදුරටත් සඳහන් වේ.