ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් විසින් කලාවැව උතුර ප්‍රදේශයේ විශේෂ වැටලීමක් සිදුකරන ලදී.

මෙම මෙහෙයුම නීතිවිරෝධී දඩයම් කිරීම් මැඩපැවැත්වීම සහ වනජීවීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළෙහි තවත් එක් පියවරකි.

අත්අඩංගුවට ගත් දඩයම් උපකරණ සහ වන සත්ව කොටස්

සෝදිසි කිරීමේදී දඩයම්කරුවන් බහුලව භාවිත කරන ගිනිඅවි, පතරොම්, උණ්ඩ, වෙඩි බෙහෙත්, මදු මෙන්ම හක්කපටස් ද නිලධාරීන් භාරයට ගෙන ඇත.

දඩයම් උපකරණවලට අමතරව එම ස්ථානයේ තිබී මුව අං තට්ටු සහ හාවා මස් ද නිලධාරීන් විසින් සොයාගන්නා ලදී.

'හස්ති සේනා' මෙහෙයුම

වන අලි සුරැකීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක 'හස්ති සේනා' ව්‍යාපෘතිය යටතේ මෙම වැටලීම සිදුකර තිබේ.

නීතිවිරෝධී දඩයම් ක්‍රියා නතර කිරීමට සහ වන සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි ඒකාබද්ධ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව බලධාරීහු සඳහන් කරති.