මහජනතාව සමඟ කටයුතු කිරීමේදී පුද්ගලයන්ට පරුෂ වචනයෙන් බැණවදින පොලිස් නිලධාරීන්ට විරුද්ධව දැඩිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අවධානය යොමුව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන කතාව

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, කිසිදු අයෙකුට පරුෂ වචනයෙන් කතා කිරීමට පොලිස් නිලධාරීන්ට අවසරයක් නොමැති බවයි. එය කිසිසේත්ම සදාචාර සම්පන්න නොවන ක්‍රියාවක් බවද ඔහු පෙන්වා දුන්නේය.

යම් හෙයකින් එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණහොත්, ඒ පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට පොලිසිය කිසිසේත් පසුබට නොවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

විශ්වාසය හා ගෞරවය රැකගැනීමේ පියවරක්

නීතිය හා සාමය රකින පොලිසිය සහ මහජනයා අතර යහපත් සබඳතාවක් මෙන්ම දැඩි විශ්වාසයක් තිබිය යුතු බව ජනතාව පෙන්වා දෙති. එහෙත් ඇතැම් නිලධාරීන්ගේ නොමනා හැසිරීම් හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි ඇති විශ්වාසය පළුදු වී ඇති බවද සඳහන් වේ.

සාමාන්‍ය ජනතාවගේ ආත්මාභිමානය මෙන්ම පොලිසියේ ගෞරවයද ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බව පොලිසිය පවසයි.