කොස්ලන්ද රණසිංහගම රානිවත්ත ප්‍රදේශයේදී අද (5) දහවල් පාරේ ගමන් කරමින් සිටි කාන්තාවක් මතට එකවරම පස්කන්දක් කඩා වැටී අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් තුවාල ලැබූ ඇය කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කර ඇති බව කොස්ලන්ද පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අනතුරට මුහුණ දී ඇත්තේ කොස්ලන්ද රණසිංහගම ප්‍රදේශයේම පදිංචිව සිටින කාන්තාවකි.

සේවකයන් කළ ක්ෂණික මෙහෙයුම

ඇය කිසියම් අවශ්‍යතාවක් සඳහා බෙරගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පාගමනින් යමින් සිටියදී පවතින වර්ෂාවත් සමඟ මෙම පස්කන්ද පාරට කඩා වැටී තිබේ. ඒ අවස්ථාවේදී කාන්තාව ඊට යටවී ගොස් ඇත.

කෙසේ වෙතත්, ඒ අසල මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි පිරිසක් වහාම ක්‍රියාත්මක වී ඇයව නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කර ඇති අතර, අනතුරුව ඇයව ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර තිබේ.