ඌවපරණගම ගම්පහා කෝරළයේ පිහිටි වැවේගම මහා විදුහලේ භූමිය නාය යෑමේ දැඩි අවදානමක පවතින බවට බදුල්ල ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය මගින් 2014 වසරේදීම ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර තිබේ. එහෙත් එම පාසල වෙනත් ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට බලධාරීන් මෙතෙක් පියවර ගෙන නැතැයි මවුපියෝ චෝදනා කරති.

වැසි සමයේදී මෙම නාය යෑම සක්‍රිය වුවහොත් පාසලේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන 500ක් පමණ වන දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්විය හැකි බවට දෙමාපියන් තුළ දැඩි බියක් මතුව ඇත.

වසර 75ක අතීතය සහ වර්තමාන තත්ත්වය

මීට වසර 75කට පමණ පෙරදී වැවේගම, දිඹුලන ඇතුළු ගම්මානවල දරුවන් වෙනුවෙන් වැවේගම විහාරගොඩ රජමහා විහාරාධිපති වෑතලාවේ ධම්මා නන්ද නායක හිමියන් විසින් මෙම පාසල විහාරස්ථානයේදී ආරම්භ කර තිබේ. පසුව 1952-1954 අතර කාලයේදී පරිත්‍යාගශීලියකු දුන් ඉඩමක ඉදිකළ කුඩා ගොඩනැගිල්ලකට ගෙන ආ පාසල අද වැවේගම මහා විද්‍යාලය ලෙස විශාල දියුණුවක් ලබා ඇත.

කලා සහ වාණිජ ඇතුළු විෂයන් යටතේ මෙහි දරුවන් ඉගෙන ගන්නා අතර ශිෂ්‍යත්ව විභාගයෙන් සහ ජාතික මට්ටමේ තරගවලින්ද ජයග්‍රහණ ලබාගෙන තිබේ. මේ නිසා මධ්‍යම පළාතට අයත් වලපනේ සහ මඩුල්ල වැනි ප්‍රදේශවලින් පවා දරුවෝ මෙම පාසලට පැමිණෙති.

දෙමාපියන් කරන හදිසි ඉල්ලීම

පාසල ඉදිකිරීම සඳහා අදියාරවත්ත ප්‍රදේශයෙන් ඉඩමක් හඳුනාගෙන ඇතත් වසර 12ක් ගතවන තුරුත් කිසිදු ඉදිකිරීමක් සිදුව නැතැයි දෙමාපියන් පෙන්වා දෙයි.

අධික වැසි සමයේ නාය යෑමේ අවදානම ඉහළ බැවින්, නව ගොඩනැගිලි ඉදිකරන තෙක් දරුවන් සහ ගුරුවරුන් දිඹුලන විදුහල, මස්පන්න මහා විදුහල හෝ විහාරගොඩ විහාරස්ථානයේ පිරිවෙන වෙත කඩිනමින් යොමු කරන ලෙස මවුපියෝ ඉල්ලා සිටිති.