කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව අදාළ දිනවල සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගන්නේ නැත.
පනත් කෙටුම්පත් විවාදයට ගන්නා කාලසටහන
නොවැම්බර් 23 සඳුදා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයෙන් පසුව, ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම විවාදයට ගැනීමට නියමිතය.
දෙසැම්බර් 05 සෙනසුරාදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙන්ම කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂවලින් අනතුරුව, ප.ව 6.00 සිට ප.ව 9.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම විවාදයට ගැනේ.
දෙසැම්බර් 07 සඳුදා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අවසානයේ ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාව හා තෙවැනිවර කියවීම සිදුකිරීමට තීරණය වී ඇත. එම කෙටුම්පත 2026 ඔක්තෝබර් 23 දින දෙවැනිවර කියවීම පවත්වා කල් තබා තිබුණි.
විශේෂ කාරක සභා තුනක් පත් කිරීමට අනුමැතිය
මීට අමතරව පාර්ලිමේන්තු විශේෂ කාරක සභා තුනක් පත් කිරීමේ යෝජනාවලට ද කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. කොවිඩ්-19 මළසිරුරු බැහැර කිරීමේදී නිර්දේශිත ප්රමිතීන්, සංස්කෘතික වටිනාකම් හා ආගමික නිදහස උල්ලංඝනය වූ බවට එල්ල වන චෝදනා විමර්ශනය කිරීම ඉන් එකකි.
එසේම ස්වාධීන තරුණ කොමිෂන් සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට සහ කාවන්තිස්ස ඇතාගේ මරණය, බලධාරීන්ගේ ක්‍රියාකලාපය හා වනජීවී නීති ක්‍රියාත්මක වීම සොයා බලා නිර්දේශ ලබාදීමට අනෙක් විශේෂ කාරක සභා පත් කිරීමට නියමිත බව වාර්තා වේ.






