ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් බංග්ලාදේශයේ රාජ්‍ය සංචාරයකට පැමිණෙන ලෙස එරට අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට නිල ආරාධනයක් කර ඇත.

අදාළ නිල ආරාධනය බංග්ලාදේශයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හුමායුන් කොබීර් මහතා විසින් අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය. දෙරට අතර දේශපාලන, ව්‍යාපාරික, සංස්කෘතික මෙන්ම අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්විණි.

ක්ලීන් ශ්‍රී ලංකා ගැන බංග්ලාදේශයේ පැහැදීම

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන හා දිළිඳුකම පිටුදැකීමේ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය ඉහළ පැහැදීමකින් පසුවන බව හුමායුන් කොබීර් මහතා මෙහිදී ප්‍රකාශ කළේය. එම වැඩපිළිවෙළෙහි ආදර්ශය තම රටටද වැදගත් වනු ඇති බව ඔහු සඳහන් කර තිබේ.

ඇඟලුම්, සංචාරක සහ පුනර්ජනනීය බලශක්ති වැනි ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් පුළුල් කරමින් දෙරටටම ප්‍රතිලාභ සැලසෙන සේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

දෙරටේ අනාගත සහයෝගීතාව

අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය මත පදනම්ව ඉදිරියේදී දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී විශ්වාසය පළ කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක දේශීය සමාගම්වලට බංග්ලාදේශයේ එම ක්ෂේත්‍රයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා දායක වීමේ අවස්ථාව පවතින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.