චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර නිල හමුවක් අද (18) පෙරවරුවේ චීනයේ Shenzhenහිදී පැවැත්වුණා. රුසියානු ජනාධිපතිවරයා මෙම හමුවට එක්වූයේ ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සහභාගි වීම සඳහා චීනයට පැමිණි අවස්ථාවේදීයි.
APEC ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව
මේ අතර, ආසියා ශාන්තිකර කලාපයේ කාර්මික හා ව්‍යාපාරික ක්ෂේත්රවල නියෝජිතයන් සහභාගි වූ APEC ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවය ද අද පෙරවරුවේ පැවැත්වුණේ චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන්. ‘ආසියා ශාන්තිකර කලාපයේ පැහැබර අනාගතයක් උදෙසා දැඩි ආත්ම විශ්වාසයකින් අධිෂ්ඨානශීලීව ඉදිරියට ගමන් කරමු’ යන්න එහි තේමාව වී තිබුණා.
එම සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය කළ චීන ජනාධිපතිවරයා, කලාපයේ පොදු සමෘද්ධිය තහවුරු කිරීම චීනයේ අපේක්ෂාව බව අවධාරණය කළා. සාමය සහ ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම, විවෘත සහයෝගීතාව වෙනුවෙන් පාලම් තැනීම සහ නවෝත්පාදන මූලික කරගත් වර්ධනයක් ඇති කිරීම අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නා.
චීන ආර්ථිකය හා ගෝලීය අවස්ථා
චීනයේ 15වැනි පස් අවුරුදු (2026-2030) සැලැස්ම තමන්ගේ සංවර්ධනය පමණක් නොව මුළු ලෝකයටම කෙරෙන ආරාධනයක් බවත්, එයින් විශාල වෙළෙඳපොළ අවකාශයක් විවෘත වන බවත් ෂී ජින්පිං පැවසුවා.
විදෙස් සමාගම්වලට චීන නිෂ්පාදන ක්ෂේත්රයේ කටයුතු කිරීමට ඉඩදෙමින් සේවා අංශය ද ක්‍රමානුකූලව විවෘත කරන බවත්, ඒ හරහා ආයෝජකයන්ට ස්ථාවර හා යහපත් පරිසරයක් සලසන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.






