පාර්ලිමේන්තුවේදී පසුගිය 23 වනදා පැවති මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම කරුණු පෙන්වා දුන්නේය.
මුදල් වර්ෂය ආරම්භයේ සිටම සංවර්ධන සැලසුම් සකස් කර ඒවායේ ප්‍රගතිය මාසිකව සොයා බැලීම වැදගත් බවත්, භාවිත නොකළ මුදල් ඊළඟ වසරට ගෙන යා හැක්කේ ණයවර ලිපි විවෘත කිරීම වැනි කොන්දේසි මත පමණක් බවත් මෙහිදී සාකච්ඡා විය. එසේ නොවන විට ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයට හැරෙන බැවින් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාපෘති අධීක්ෂණය අත්‍යවශ්‍ය බව සඳහන් විය.
වී තොග සහ ආයෝජකයන්ට ඉඩම්
ගොවීන්ගේ පොහොර සහනාධාරය සහ මහ කන්නයේ වී අස්වැන්න මෙන්ම ගබඩාවල ඉතිරිව ඇති වී තොග කළමනාකරණය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. එම වී තොග සහල් කර සුබසාධන කටයුතුවලට හෝ සත්ව ආහාර වැනි නිෂ්පාදනවලට යෙදවීමට සාකච්ඡා කෙරිණි.
ආයෝජන ප්‍රවර්ධනයට බදු සහන පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ආයෝජකයෙකුට ඉඩමක් ගැනීමට දැනට මාස 18ක් පමණ ගතවීම බාධාවක් බවත් ජනාධිපතිවරයා පැවසීය. රජයේ ඉඩම් හඳුනාගෙන ආයෝජන මණ්ඩලය හෝ විශේෂ ඉඩම් බැංකුවක් යටතට ගෙන කඩිනමින් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම ගැන ද සාකච්ඡා විය.
තවත් කරුණු රැසක් සාකච්ඡාවට
ක්‍රිප්ටෝකරන්සි නියාමනය, රක්ෂණ සහ ගනුදෙනු ඩිජිටල්කරණය මෙන්ම සමුපකාර සංගම්වල VAT බදු ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර ඇතුළු පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ.






