අමාත්‍යාංශ නිල නිවාස ලබා නොගන්නා බවට පොරොන්දු දුන් ආණ්ඩුවේ ඇමතිවරුන් 10 දෙනෙකු මේ වන විටත් එම නිල නිවාස ලබාගෙන සිටින බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ.

පොරොන්දු සහ ඇත්ත තත්ත්වය

නිල නිවාස ප්‍රතික්ෂේප කරන බවට දුන් පොරොන්දු සහ වත්මන් තත්ත්වය අතර විශාල පරස්පරයක් ඇති බව විජේසිරි මහතා පෙන්වා දුන්නේය. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා මෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ද නිල නිවාසවල රැඳී සිටින බව ඔහු සඳහන් කළේය.

ඊට අමතරව සියලුම මන්ත්‍රීවරුන් මාදිවෙල නිල නිවාසවල සිටින බව පැවසූ මන්ත්‍රීවරයා, ආණ්ඩුව පොරොන්දු වූ පරිවර්තනය පළමුව ඉටු කර පෙන්වන ලෙස අභියෝග කළේය.

“එදා අනුර කුමාර දිසානායක, බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු කැන්ටිමේ මලික් සමරවික්‍රම බත් හැන්දක් බෙදනකන් ඉන්නවා කන්න. එහෙම යුගයක් තිබුණා.”චමින්ද විජේසිරි

නීතිය ක්‍රියාත්මක වීම ගැන ප්‍රශ්න කිරීමක්

ගල්අඟුරු හොරා කෑ බව කියන ඇමතිවරයාට මෙන්ම කන්ටේනර් තුන්සිය විසිතුනක් නිදහස් කළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ බවත් ඔවුන් නීතියට ඉහළින් සිටින බවත් ඔහු චෝදනා කළේය.

එමෙන්ම එක් නගරාධිපතිවරයෙකු තමන්ගේ බඩකට පුරවන ලෙස ඉල්ලා සිටින බව සඳහන් කළ මන්ත්‍රීවරයා, එය අල්ලසක් නොවේදැයි ප්‍රශ්න කර සිටියේය.