වට්ටමඩු තෘණ භූමියෙන් සිය ගවයින් ඉවත් කරගෙන ආපසු ගම්බිම් බලා රැගෙන යාමට සූදානම් වූ තිරුක්කෝවිල් කිරි ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව සිටිති. ගවයින් පිටතට රැගෙන ඒම සඳහා සියයකට ආසන්න කිරි ගොවීන් පිරිසක් මාර්ගය අසලට රැස්ව සිටි නමුත්, ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් සතුන් විශාල පිරිසක් යළි කැලෑ වැදුණු බව වාර්තා වේ.

කැලෑ වැදුණු සතුන් සොයා ගැනීමට කාලය ගතවීම නිසා ගවයින් පිටතට ගෙන ඒම නතර වූ අතර, එම ස්ථානයට පොලීසිය ද කැඳවා තිබිණි. ඉකුත් 19 වනදා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නැගෙනහිර හා උතුරු මැද පළාත් භාර වන සංරක්ෂක දේවානි ජයතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී සියලු දෙනාටම වට්ටමඩු භූමියෙන් ඉවත් වන්නැයි නියෝග කර තිබුණි.

කිරි කර්මාන්තයට එල්ල වන දැඩි බලපෑම

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට වැඩිම ගව ගහනයක් වාර්තා වන්නේ නැගෙනහිර පළාතෙනි. එම සංඛ්‍යාව 568,123ක් වන අතර එය රටේ සමස්ත කිරි ගවයින්ගේ ප්‍රතිශතයක් ලෙස සියයට 36.6කි. එවැනි වාතාවරණයකදී වට්ටමඩු තෘණ භූමිය අහිමි වීම කිරි ගොවීන්ගේ පාරම්පරික ජීවනෝපායට ඍජුවම බලපා ඇත.

වට්ටමඩු ඉඩම් අර්බුදයේ ඉතිහාසය

1974 වසරේදී එවකට අම්පාර දිසාපති පර්සි අබේසිංහ මහතා විසින් මැන වෙන් කළ අක්කර 4,700ක භූමියෙන් අක්කර 4,000ක් 1976දී පාර්ලිමේන්තුව හරහා ගැසට් මගින් තෘණ භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. එහෙත් යුද සමයේදී ආරක්ෂක හේතූන් මත දමිළ කිරි ගොවීන්ට එම භූමිය තහනම් කෙරුණු අතර, ඒ අතරතුර වෙනත් පිරිස් එහි නීති විරෝධීව කුඹුරු වගා කර තිබේ. එහිදී අවුරුදු 11 සිට 17 දක්වා ළමයින්ට පවා බලපත්‍ර නිකුත් කර තිබූ බව පැවසේ.

2010 වසරේදී බක්මිටියාව කිඹිරිගොල්ල රක්ෂිතයට මෙම භූමිය ඇතුළත් කෙරුණු අතර, අනවසර වගාකරුවන් ඉවත් කරන ලෙස ඉල්ලා ගොවීන් 2011දී අභියාචනාධිකරණයට ගියද, අදාළ ගැසට් පත්‍රය හදිසි නීතිය යටතේ නිකුත් කර තිබූ එකක් බව පවසමින් එම පෙත්සම මාර්තු 27 වනදා නිෂ්ප්‍රභ විය. මේ හේතුවෙන් දස දහස් ගණනක් ගවයින් නැවත ගම්බිම් වෙත ගෙන ඒමෙන් පසු මතුවන අර්බුදවලට විසඳුම් සෙවීමට බලධාරීන්ට සිදුව තිබේ.