අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ වැටුප් විෂමතා දෙස 'කරනවාද නැද්ද' යන පටු කෝණයෙන් නොබලා සමස්ත වැඩපිළිවෙළ දෙස බලන්නැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෘත්තීය සමිති හමුවේ පවසා තිබේ. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේදී යම් ගැටලු මතුවිය හැකි වුවත්, එකම කරුණක් මත පමණක් රජය විනිශ්චය කිරීම සාධාරණ නැති බව ඇය පෙන්වා දුන්නාය.

ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද රාජ්‍ය සේවයට ලබා දිය හැකි උපරිම වැටුප් වැඩිවීම අදියර තුනකින් ලබා දෙන බව ඇය පැවසුවාය. ඒ අනුව 2027 වන විට ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශක වැටුප් සියයට 70 සිට 77 දක්වා වැඩි වන බවත්, බදු සීමා ඉහළ දැමීම නිසා පළමු ශ්‍රේණියේ ගුරුවරුන්ට සහනයක් ලැබුණු බවත් සඳහන් විය.

විෂමතා විසඳීමට කොමිසමේ වාර්තාවක්

පොදු වැටුප් වැඩිවීමෙන් පමණක් පවතින වැටුප් විෂමතාවලට විසඳුම් නොලැබෙන බව රජය පිළිගන්නා බව අගමැතිනිය ප්‍රකාශ කළාය. එම ගැටලුව විසඳීමට 2026 ජූනි 22 වැනිදා වසරක කාලයකට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිසන් සභාවක් පත් කළ බවත්, එම වාර්තාව ලබන ජූනි මාසයේදී ලැබුණු පසු 2028 වසරේදී ඊට පියවර ගන්නා බවත් ඇය පෙන්වා දුන්නාය.

සුබෝධිනී වාර්තාව පමණක් පදනම් කරගෙන කටයුතු කළ නොහැකි බව පැවසූ ඇය, වැටුප් වැඩි කළද පාසල්වල ජලය ඇතුළු පහසුකම් නැතිනම් පලක් නොවන බව අවධාරණය කළාය. වැටුප්, යටිතල පහසුකම්, ගුරු පුහුණුව මෙන්ම චක්‍රලේඛ ගැටලු එකම පැකේජයක් ලෙස විසඳිය යුතු බව ඇයගේ ස්ථාවරය විය.

විද්‍යාපීඨ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ වෙනස්කම්

2024 වසරේ ආණ්ඩුව භාරගන්නා විට ආයතන පද්ධතියම කඩා වැටී තිබූ බවත්, සුසිල් ප්‍රේමජයන්ත විද්‍යාපීඨ උපාධි මට්ටමට ගෙන යන බව කීවද ජලය, විදුලිය හෝ අන්තර්ජාලය පවා නොතිබූ බවත් අගමැතිනිය සිහිපත් කළාය. ජාතික අධ්‍යාපන ආයතනයේ පුරප්පාඩු පිරවීම සඳහා 2027 ජනවාරි මාසයේදී 294 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව ඇය සඳහන් කළාය.

විද්‍යාපීඨ වෙනුවෙන් ලබන වසරට රුපියල් මිලියන 3,450ක් වෙන් කර ඇති අතර, ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 4,500 සිට රුපියල් 10,000 හා රුපියල් 20,000 දක්වා ඉහළ දැමූ බව පැවසේ. එසේම අධ්‍යාපන සභාව පිහිටුවීමේ වාර්තාව වෙබ් අඩවියේ පළ කර ඇති බවත්, ලබන වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 78ක් වැය කිරීමට නියමිත බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.