ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා විමසීම රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දිකගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව පසුගිය 23 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, එහිදී සිවිල් සමාජ නියෝජිතයින් විසින් යෝජිත පනත් කෙටුම්පතේ පවතින ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.

සිවිල් සංවිධාන හා බලධාරීන් දැක්වූ අදහස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට එකඟතාවක් තිබුණත්, ඒ වෙනුවට අලුතින් පනතක් ගෙන ඒමේ අවශ්‍යතාව මෙන්ම එහි අන්තර්ගතය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව සිවිල් සංවිධාන නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය නීතිමය රාමුවක් සැකසීමේ අරමුණින් මෙම නව පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බව පනත් කෙටුම්පත සම්පාදනය කළ කමිටුව, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා ඇතුළු පොලිස් උසස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් අවධාරණය කර සිටියේය.

සහභාගී වූ මැති ඇමැතිවරුන් ඇතුළු පිරිස

පනත් කෙටුම්පත සකස් කිරීමේදී පුළුල් මහජන සහභාගීත්වයක් ලබාගෙන ඇති බවත්, ඉදිරියේදී සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සමඟ තවත් සාකච්ඡා පවත්වන බවත් කාරක සභා සභාපතිවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, මුජිබුර් රහුමාන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, එම්.කේ.එම්. අස්ලම්, චන්දන සූරියආරච්චි, ධර්මප්‍රිය විජේසිංහ, නීතිඥ තුෂාරි ජයසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඊළඟට කුමක්ද?

ඉදිරියේදී ද සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සමග තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතය.