රජයේ චක්‍රලේඛ හා විධිවිධානවලට පටහැනිව ලබාගෙන තිබූ අතිරේක ඉන්ධනවල වටිනාකම වූ රුපියල් මිලියන 1.17ක මුදල උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් විසින් පළාත් සභාවට යළි ගෙවා දමා තිබේ. අදාළ මුදල සම්පූර්ණයෙන්ම මුදලින්ම පළාත් සභා අරමුදලට ආපසු බැර කර ඇති බව උතුරු මැද පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) අරුණ රවි තහවුරු කළේය.

ජාතික විගණන කාර්යාලය සිදුකළ විමර්ශනයකින් අනතුරුව කරන ලද නිල දැනුම්දීමකට අනුව මෙම පියවීම සිදුකර ඇත.

විගණනයෙන් හෙළි වූ ඉන්ධන ගනුදෙනුව

මෙම අතිරේක ඉන්ධන භාවිතය සිදුව ඇත්තේ 2020 වසරේ අප්‍රේල් මස සිට 2021 වසරේ ජූනි මස දක්වා වූ කාලසීමාව තුළදී බව සඳහන් වේ. එම කාලසීමාවේදී හිටපු ආණ්ඩුකාරවරයා රජයේ නියමයන්ට පටහැනිව අමතර ඉන්ධන භාවිත කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබුණි.

එම විගණන විමසුම පදනම් කරගෙන උතුරු මැද පළාත් සභාව කළ පරීක්ෂණයේදී රජයට අහිමි වූ මුදල ඔහුගෙන් අය කරගත යුතු බවට නිර්දේශ වී තිබිණි.

අනුමැතිය දුන් නිලධාරීන්ට සිදුවන්නේ කුමක්ද?

අදාළ මුදල හිටපු ආණ්ඩුකාරවරයාගෙන් අයකර ගැනීමට හැකි වුවත්, චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ඉන්ධන නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් නිලධාරීන්ට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව පැවසේ. ඔවුන්ට එරෙහිව වහාම විනය පරීක්ෂණ පවත්වන ලෙස ජාතික විගණන කාර්යාලය දැඩිව අවධාරණය කර ඇත.

නමුත් ඊට අනුමැතිය දුන් නිලධාරීන් මේ වන විටත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් සිටින බැවින්, ආයතන සංග්‍රහය අනුව ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීම සීමා වී ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ගැටලු සහගත වී ඇති බවත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.