ඉරාන යුද්ධය නිසා අර්බුදයට ගිය ලෝක තෙල් සැපයුම යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් ‘ඔපෙක්’ නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.

ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය සිය නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 10.563ක් දක්වා වැඩි කර ඇති අතර, එය සැප්තැම්බර් මාසයට වඩා බැරල් මිලියන දෙකකට අධික වර්ධනයකි. පසුගිය පෙබරවාරි මාසයේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහරදීමෙන් පසු වාර්තා වූ ඉහළම නිෂ්පාදනය මෙය වන බව සඳහන් වේ. යුද්ධයට කලින් පෙබරවාරියේදී සෞදිය දිනකට බැරල් මිලියන 10.882ක් නිපදවා තිබුණි.

‘ඔපෙක් ප්ලස්’ නිෂ්පාදනය ඉහළට

සෞදි අරාබිය සහ රුසියාව නිෂ්පාදනය ඉහළ දැමීම නිසා ‘ඔපෙක් ප්ලස්’ රටවල සමස්ත තෙල් නිෂ්පාදනය ඔක්තෝබර් මාසයේදී දිනකට බැරල් මිලියන 41.23ක් දක්වා නැග තිබේ. මෙය සැප්තැම්බර් මාසයට වඩා බැරල් මිලියන 2.04ක ඉහළ යාමක් වන අතර, ඉරාන යුද්ධයට පෙර පැවති නිෂ්පාදනයෙන් සියයට 97කට ආසන්න අගයකි.

සම්බාධක ඉවත් වීම සහ විකල්ප මාර්ග

රුසියානු බලශක්ති ක්ෂේත්‍රයේ සම්බාධක ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉවත් කිරීම මෙන්ම රුසියාව සහ යුක්රේනය අතර බලශක්ති සටන් විරාමයක් ප්‍රකාශ වීම ද රුසියාවේ නිෂ්පාදනය නැගීමට හේතු වී ඇත.

ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය ඇණහිටීම නිසා මිල ගණන් සහ උද්ධමනය ඉහළ ගිය නමුත්, සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් රටවල් විකල්ප නළ මාර්ග සහ ප්‍රවාහන ක්‍රම හරහා අපනයන කටයුතු යළි ස්ථාවර කරගනිමින් සිටින බව වාර්තාවේ දැක්වේ.