අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී නුවර කායවර්ධන මධ්‍යස්ථානයක් තුළ එරට වේලාවෙන් අද (12) උදෑසන කාලයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇත. මෙම සිදුවීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව මෙට්‍රොපොලිටන් පොලිසිය පවසයි.

සැකකරු මහල් නිවාසයකට පැන යයි

වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු වෙඩික්කරු එම ස්ථානයෙන් පළාගොස් අසල පිහිටි මහල් නිවාස සංකීර්ණයකට ඇතුළු වී තිබේ. එහි 7 වන මහලේ පිහිටි නිවසක් තුළ ඔහු සැඟව සිටි බව වාර්තා වේ.

ඔහුව නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිසිය දැඩි උත්සාහයක නිරත වී ඇති අතර, පැයක පමණ කාලයක් දෙපාර්ශවය අතර අදහස් හුවමාරුවීමක්ද සිදුව ඇත.

වෙඩික්කරු තමන්ටම වෙඩි තබාගෙන

කෙසේ වෙතත්, එම සාකච්ඡාවලින් පසුව අදාළ නිවස තුළින් එක්වරම වෙඩි ශබ්දයක් ඇසී තිබේ. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම නිවසේ දොර කඩා ඇතුළු වී පරීක්ෂා කිරීමේදී සැකකාර වෙඩික්කරු තමාටම වෙඩි තබාගෙන මියගොස් සිටිනු දැකගත හැකි වූ බව වාර්තා වේ.