ඇමරිකානු ජනප්‍රිය ගායිකා මයිලි සයිරස්, ඩ්‍රම්ස් වාදක මැක්ස් මොරැන්ඩෝ සමඟ නිල වශයෙන් විවාහ වී තිබේ. 33 හැවිරිදි වියෙහි පසුවන ගායිකාව මෙම සුබ පුවත සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ කළු-සුදු ඡායාරූප කිහිපයක් පළ කරමින් අනාවරණය කළාය. එම ඡායාරූපවල ඔවුන් සුදු රෝස මල් මැද සුරතල් බල්ලෙකු අසල සිටින ආකාරය දැක්වේ.
මෙම විවාහ මංගල්‍යය නොවැම්බර් 21 වන දින කැලිෆෝනියාවේ පාම් ස්ප්‍රින්ග්ස් හිදී පැවැත්විණි. ප්‍රවීණ ගායක ෆ්රෑන්ක් සිනාට්රාට අයත්ව තිබූ ඓතිහාසික නිවාඩු නිකේතනයක මෙම උත්සවය පවත්වා ඇති අතර, ඊට සහභාගී වූ අමුත්තන් සියලු දෙනාම කළු පැහැති ඇඳුමින් සැරසී සිටි බව වාර්තා වේ.
ප්‍රකට පුද්ගලයින් රැසකගේ සහභාගීත්වය සහ සෙන් ලෝරන්ට් විලාසිතා
මෙම විශේෂ දිනය වෙනුවෙන් සයිරස් සැරසී සිටියේ Saint Laurent විලාසිතා ආයතනයේ ඇන්තනි වැකරෙලෝ විසින් විශේෂයෙන් නිර්මාණය කරන ලද සුදු පැහැති සේද මංගල ඇඳුමකිනි. මේ අතර 28 හැවිරිදි මොරැන්ඩෝ ද එම සුඛෝපභෝගී විලාසිතා ආයතනය විසින්ම නිර්මාණය කරන ලද කළු පැහැති ඇඳුමකින් සැරසී සිටියේය.
මෙම අවස්ථාවට ඔවුන්ගේ පවුලේ සාමාජිකයෝද එක්ව සිටියහ. මයිලිගේ මව වන ට්‍රිෂා සයිරස් සහ සොහොයුරිය නෝවා සයිරස් ඡායාරූපවල දක්නට ලැබිණි. ඇගේ පියා වන බිලී රේ සයිරස් සිය සහකාරිය වන නිළි ලිස් හර්ලි සමඟ උත්සවයට පැමිණ සිටියේය. බ්‍රැන්ඩි සයිරස්, ඩෝචී සහ ඩොනටෙලා වර්සාචේ වැනි ජනප්‍රිය තරු රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ මෙම යුවළට සුබ පැතුම් එක් කර තිබුණි.
“මාව පුදුමයට පත් කිරීම ලේසි දෙයක් නෙවෙයි, මොකද මම හැම තත්ත්වයක්ම පාලනය කරන්න කැමතියි. ඒත් එදා මම ඒ හැමදේම අතහැරලා හිටියේ. මම ඇත්තටම ගොඩක් පුදුමයට පත් වුණා.”
හමුවීමේ සිට විවාහ යෝජනාව දක්වා
තමන් දෙදෙනා මුලින්ම මුණගැසුණේ මිතුරන් මාර්ගයෙන් සංවිධානය වූ හමුවකදී බව සයිරස් 2023 දී British Vogue සඟරාවට පවසා තිබුණි. ලොස් ඇන්ජලීස්හි Liily සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයෙකු වන මොරැන්ඩෝ, මීට පෙර 2022 වසරේදී NBC නාලිකාවේ පැවති Miley's New Year's Eve Party වැඩසටහනේදී ඩොලී පාටන් සහ ඩේවිඩ් බර්න් සමඟින් ද දස්කම් දක්වා තිබේ.
ටෝකියෝ සිට කියෝටෝ දක්වා ආසියාවේ කළ සංචාරයක් අතරතුර මෙම විවාහ යෝජනාව ඉදිරිපත් කර තිබේ. Good Morning America වැඩසටහනට අදහස් දක්වමින් සයිරස් කියා සිටියේ තමා ඒ පිළිබඳ කිසිවක් නොදැන සිටි බවයි. මෙම යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා තමන් එම සංචාරයේ අවසන් මොහොත දක්වාම බලා සිටි බව මොරැන්ඩෝ Wonderland සඟරාවට පවසා ඇත.
සයිරස් මීට පෙර ඕස්ට්‍රේලියානු නළු ලියම් හෙම්ස්වර්ත් සමඟ විවාහ වී සිටි අතර, ඔවුන් 2019 දී වෙන් විය.






